Language Switcher

V2025

මංගලගේ දේශපාලන අවබෝධය අවතක්සේරු කළ හැකිද? - ශ්‍රී ලංකා ගාර්ඩියන් කතු වැකිය

අපි ජාතියක් හැටියට ඔප්පු කොට ඇති මූලික ගුණාංගය කුමක්ද?

එය සරලය. එනම්, කළ හැකි සෑම තක්කඩි සහ කුපාඩි කටයුත්තක්ම තිරය පිටුපසින් සිදු කොට පිටට ශීලවන්ත සහ යහපත් ප්‍රතිරූපයක් පෙන්වීමට උපරිමයෙන් උත්සාහය ගැනීමය. ඒ සඳහා, හැකි උපරිමයෙන් වියදම් කිරීමය. පවක් නොකළ කෙනා පළමු ගල ගසන්න යැයි කිව හොත්, ගලක් ගැසීමට ශුද්ධ වන්තයෙකු ඉදිරිපත් වීමට හැකි ප්‍රායෝගික වටපිටාවක් මෙරට තිබේද?

පරම්පරා ගත පුරුද්ද වී ඇත්තේ, තමන්ගේ දියුණුව උදෙසා අවංක චේතනාවෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීම නොව, අනෙකාගේ දියුණුවට සහ උත්සහයට බාධා කිරීමට තම උපරිම කැපවීම සිදු කිරීමය. සම්ප්‍රදායිකව අපි උගන්වා ඇත්තේ අනෙකාට එරහිව පෙත්සන් ගැසීමේ කලාව ගැන පමණි.

රැවටීම සහ අනෙකා මුලාවේ හෙළීම තම මනෝබාවය සැලසුම් කිරීමට දායක වන මූලික චෛතසික මෙවලම් වූ විට, එම ජාතිය හීන දීන ජාතියක් බවට පත්වේ. මෙරටට සිදු වී ඇත්තේ එයයි.

රටට දීර්ඝ ඉතිහාසයක් ඇත. නමුත් එම ඉතිහාසය වත්මන් සහ අනාගත පරම්පරා වල බුද්ධිය වර්ධනය කිරීම සඳහා යොදා ගත හැක්කේ කෙසේද යන්න ගැන ශක්තිමත් ජාතික සැලැස්මක් කිසිවෙකුට නැත.

රටට අභිමානයෙන් පිරි බසක් සහ රැසක් ඇත. නමුත් එය රටේ වත්මන් අවශ්‍යතාවයන්ට සහ වෙළඳපොල වටිනාකම් වෙනුවෙන් භාවිතා කළ හැකි අන්දම ගැන කිසිවෙකුට සැලැස්මක් නොමැත.

රටට ශීලාචාර සංස්කෘතියක් ඇතැයි කියනු ලැබේ. නමුත්, සංස්කෘතික මූලයන් අලංකාර වාග් මලාවන්ට පමණක් සීමා වී ඇති අතර, බෞද්ධ පන්සලේ සිට පාසල දක්වා වූ මූලික ආයතන සියල්ලගේම පාහේ දිනපාතාම සිදුවන අතවර ප්‍රමාණයේ වැඩිවීමක් මිස කිසිඳු අඩුවක් නැත.

නිදහස් අධ්‍යාපනයක් ඇතැයි කියනු ලැබේ. නමුත් එම නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් කරන කිසිවෙකු නොව ණයකාරයෙකු සහ වත්මන් වෙළඳපොල අවශ්‍යතාවයන් වලට නොගැලපෙන අයවලුන් බිහිකරනු ලබයි.

අහිංසක දෙමාපියන්ගේ හිඟන වැටුපින් ගරාගෙන කන රජයේ පාසැල් දියුණු කොට එම පාසලේ විදුහල්පතිවරයා රටේ පොහොසතෙකු වීමත්, පැය විසි හතරම කුණුහරප වදාරමින් තම ගත මනාව සොයා ගන්නා ටියුෂන් ගුරුවරයාගේ හැසිරීමත් හැරෙන්නට, රටට නිදහස් අධ්‍යාපනය කියා යමක් තිබේද?

මේ ආකාරයෙන් සඳහන් කිරීමට ඇති කාරණා බොහෝ වෙති. නමුත් ඒ සියලු කාරණා අහමුවේ ඇසිය හැකි එක් මූලික ගැටලු දෙකක් තිබේ.

මුලාව සහ රැවටීම මත පදනම් වූ ජාතියකට ගමන් කළ හැකි දුර කුමක්ද?

තම ව්‍යාජත්වය වසා ගැනීම සඳහා නිර්මාණය කළ බාධක වලින් රටට ලබා දී ඇති සුගතිය කුමක්ද?

මේවා අවංකව කතා කළ යුතු කාරණා නොවේද?

horu MS 1000px

ව්‍යාජ වෙස් මුහුණු වලින් වසා ගෙන සිටින ශීල වන්තයින්ගේ වෙස් මුහුණු ඉවත් කොට ඔවුහු නටන නාඩගම් ලෝකය හමුවේ ජවනිකා ගත කිරීමට හැකි පරිසරය සකස් කිරීමට මංගල සමතෙකි.

ඇල්කොහොල් මිලදී ගැනීම සඳහා කානතාවන්ට අවසර දීම සහ බාර් ( සුරාසල්) විවෘත කර තබන වේලාවන් වෙනස් කිරීම ගැන විශාල ව්‍යාජ විරෝධයක් රට තුළ මතු විය. ඒ ගැන විරෝධය පෑමට පැමිණි බේබද්දන්, ඇල්කොහොල් උගුරක් හෝ පානය නොකළ අන්දමින් හැසිරෙති. මෙම බොරුව පෙන්වන්නේ කුමන ජන සමාජයටද යන්න ගැටලුවකි.

ඇල්කොහොල් සම්බන්ධයෙන් මේ දක්වා සිදු වූයේ කුමක්ද? නීතියක් ඇත. එය අපහරණය කොට ඇත්තේ නීති තනන්නා සහ එය ක්‍රියාවේ යෙදවීමට රාජ්‍යය සම්පත් මඟින් නඩත්තු කරන කණ්ඩායම විසිනි.

දශක ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් හාස්‍යයට ලක් වෙමින් තිබූ එවැනි නීතියක් ඉවත් කිරීමෙන් සිදුවන්නේ කුමක්ද? ඉන් කිසිඳු අයහපතක් සිදු වේද? සිදුවන අයහපත සිදු වන්නේ, එය තම වාසිය වෙනුවෙන් භාවිතා කළ ශීල්වන්තයින් ලෙස වෙස් වලාගත් අයවලුන්ට පමණි.

මෙම ඇත්ත තේරුම් නොගෙන රටකට ඉදිරියට ගමන් කළ හැකි යැයි කීම සැබවින්ම හාස්‍යයකි.

මංගල සමරවීර මහතාගේ දේශපාලනය ඉතාම පැහැදිළිය. එනම්, ව්‍යාජ වෙස් මුහුණු වලින් වසා ගෙන සිටින ශීල වන්තයින්ගේ වෙස් මුහුණු ඉවත් කොට ඔවුහු නටන නාඩගම් ලෝකය හමුවේ ජවනිකා ගත කිරීමට හැකි පරිසරය සකස් කිරීමට ඔහු සමතෙකි.

එසේම, රටක මෙන්ම ලෝකයේ පවතින ප්‍රයෝගික තත්වය ගැන මනා අවබෝධයක් ඇති දේශපාලනඥයෙකු ලෙස හෙතම කැපී පෙනෙන්නේය. ඔහුගේ තීරණ පට්ටපල් ව්‍යාජ සම්ප්‍රදායට රළු විය හැකිය. ඔහුගේ තීරණ, සම්ප්‍රදායික සහ මංමුලාකාරී පදනමට පහර වැදීමට හේතු විය හැකිය.

නමුත්, එම තීරණ වලින් ගත යුතු දෙයක් තිබේ. එම තීරණ වර්තමානය ඇසුරු කොට තිබේ. මොන තහංචිය දැම්මද, ප්‍රායෝගික භාවිතය තුළ සිදුවන දේ ගැන දන්නේය. ඊට ආමන්ත්‍රණය කරන්නේය. ජාතියකට වැදගත් වන්නේ එය නොවේද?

මේ නිසා මංගලගේ දේශපාලන තීන්දු හෑල්ලුවට ලක් කිරීමෙන් විඳිය හැක්කේ තාවකාලික ප්‍රමෝදයක් පමණි. එය අවතක්සේරු කළ හැකිය. නමුත් යළිත් එය වෙනස් තාලයකට සිදු කිරීමට අවශ්‍යය වටපිටාව නිසැකවම නිර්මාණය වනු ඇත.

අප කාටත් ඇත්තට මුහුණ දී, ඒ ඇත්ත මත තීන්දු තීරණ ගැනීමට සිදුවන කාලය වැඩි ඈතක නොවේ.

අපේ අශීලාචාර කම් විවෘත වීමට ඉඩ දෙන්න; ඊට හැකි පමණ විඳීමට නිදහස දෙන්න. එවිට අපි කෙතරම් ශීලාචාර් දැයි අපටම තේරුම් ගැනීමට හැකි වනු ඇත. එය, රටක දියුණුව වෙනුවෙන් ගත හැකි පළමු පියවර වේ.

ඒ සඳහා යමෙකුට අවශ්‍යය නම්, ප්‍රකට බෞද්ධ රටවල් වන බුරුමය, කාම්බෝජය, සහ තායිලන්තය වැනි රටවල් අලකොහෝල් භාවිතය අතින් ඔප්පු කොට ඇති මූලික සමාජීය කාරණා ගැන ඉගෙන ගත හැකිය.

එහෙම ඉගෙන ගෙන මෙම කාරණා ගැන අවබෝධ කර ගන්න. වැදගත් වන්නේ විනය දියුණු කර ගැනීම සහ ආකල්ප වෙනස් කර ගැනීමය. එය ව්‍යාජ තහංචි වලින් කළ නොහැකිය.

(ශ්‍රී ලංකා ගාර්ඩියන් කතු වැකිය)