කොවිඩ් 19 ද ? හොයන්න App එකක් !

කොවිඩ් 19 ද ? හොයන්න App එකක් !

පුද්ගලයින්ගේ කැස්ස සහ හඩ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි පුරෝකථනය කළ හැකි මෘදුකාංගයක්(ඇප්)  නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ලොව ප්‍රමුඛ විශ්වවිද්‍යාල දෙකක් විසින් අරඹා ඇත.

පුද්ගලිකත්වයට සම්බන්ධ එකිනෙකට වෙනස් ප්‍රවේශ දෙකක් ඔස්සේ ක්‍රියාත්මත මෙම ව්‍යාපෘති එකිනෙක අතර සම්බන්ධතාවකින් තොරව ක්‍රියාවට නැංවේ.

මින් එක් ව්‍යාපෘතියක් බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාවට නංවා ඇති අතර අනෙක් ව්‍යාපෘතිය අමෙරිකාවේ කානෙජි මෙලෙන් විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කරයි.

ව්‍යාපෘති දෙකටම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගන්නා අතර වෛරසය සම්බන්ධයෙන් දත්ත විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කර එහි යම් රටාවක් සොයා ගැනීම මඟින් ගැටලු විසඳාගැනීම අපේක්ෂාවයි.

මෙහි මූලික අරමුණ වන්නේ උණ ඇතුළු වෙනත් රෝගවලින් කොවිඩ් - 19 වෙන්කර හඳුනාගැනීම වේ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මෙහෙයවන ව්‍යාපෘතියට අදාළ දත්ත රැස්කර ගැනීම සඳහා මහජනතාවට ආරාධනා කර ඇති අතර ඔවුන්ගේ ශ්වසනය සහ කැස්ස සම්බන්ධ දත්ත මයික්‍රොෆෝනයක් මගින් පරිගණකයට ඇතුළත් කෙරේ.

එම දත්ත දායකයින්ගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය, පදිංචි ප්‍රදේශය මෙන්ම කොරෝනා වෛරසය ඔවුන්ට ආසාදනය වී ඇති බවට මෑතකදී පරීක්ෂාවන් සිදුකර ඇත්දැයි යන තොරතුරු ද මෙහිදී ලබාගැනේ.

මෙසේ ප්‍රමාණවත් පරිදි ලබාගත් දත්ත ඇසුරෙන් වෛරසය ආසාදිත පුද්ගලයින් සහ ඔවුන් රෝගයේ කවර අදියරේ සිටින්නේ ද යන්න හඳුනාගන්නා බව මහාචාර්ය සෙසිලියා මස්කෝලෝ පවසයි.

මෙම ව්‍යාපෘතිය පසුගිය අඟහරුවාදා ආරම්භ කළ අතර පළමු දිනයේදී පුද්ගලයින් 1200 දෙනෙකු තොරතුරු ලබා දීමට සහභාගි වී තිබේ.

ඔවුන් අතරින් 22 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයෝ වෙති.

මාස 2 ක් තුළ මෙම ඇප් එක එළිදැක්වීමට කේම්බ්‍රිජ් පර්යේෂකයෝ අපේක්ෂා කරති.

කානෙජි මෙලෙන් විශ්වවිද්‍යාලය පුද්ගලයින්ගේ හඬ යොදාගෙන දත්ත රැස් කිරීමට පියවර ගෙන තිබේ.

මේ සඳහා ආරම්භ කළ වෙබ් අඩවියක් මගින් පරිශීලකයින්ගේ කැස්ස, ඉංග්‍රීසි භාෂාවේ ස්වර ශබ්ද නැගීම සහ හෝඩිය ශබ්ද කිරීමට අදාළව දත්ත ලබා ගැනේ.

අවසානයේ ඔවුන්ට කොවිඩ් - 19 ආසාදනය වී තිබීමට කෙතරම් හැකියාවක් පවතීදැයි දක්වනු ලැබේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳ යළි සිතා බැලීම වැදගත් බව පර්යේෂකයින්ගේ අදහස වේ.

 

මේ වන විට මෙම වෙබ් අඩවිය අක්‍රීයව පවතින අතර මෙම සතිය අවසන් වන විට නැවත එය සක්‍රීය කරන බව පර්යේෂකයෝ පවසති.

(ලංකාදීප )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න