Language Switcher

V2025

"අපේ ජනාධිපති අපි බලාගන්නම්"

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ එක්ව තරග කිරීමේ හැකියාව ගැන තවත් සාකච්ඡාවක් අඟහරුවාදා (නොවැ 28) පැවැත්වීමට නියමිතය.

සෙනසුරාදා රාත්‍රියේ පැවති මූලික සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි හා සී.බී රත්නායක සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගිවී තිබුණේ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ ලසන්ත අලගියවන්නයි.
"මූලික එකඟතා කිහිපයකට අපිට එන්න පුළුවන් වුනා. නමුත් ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් ගැන අපිට අපේ නායකයන් සමග සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ ගැන එකඟතාවකට එන්න බැරිවුනා. ඒ ගැන දෙපාර්ශ්වයේම නායකත්වය සමග සාකච්ඡා කරලා නැවත අඟහරුවාදා රැස්වෙනවා තීරණයකට එළඹෙන්න" සෙනසුරාදා පැවති සාකච්ඡා ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මාධ්‍යට පැවසුවේ එළෙසය.

දෙපාර්ශ්වයම සාකච්ඡා වූ කොන්දේසි මොනවාදැයි තවමත් හෙළිකර නොමැත.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අගමැතිකම හෝ විපක්ෂ නායකකම ලබාදීම මෙම සාකච්ඡාවල කොන්දේසි බවට මධ්‍ය වර්තා පළවුවත් දෙපාර්ශ්යම එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය ඇමතූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙපාර්ශ්වය අතර පැවැත්වෙන සාකච්ඡා ගැන සුබවාදීව අදහස් පළ කළේය.
"අපේ මන්ත්‍රී කණ්ඩායම තුන්දෙකෙන් පත්කරලා තියෙනවා. එයාලට වගකීමක් බාරදුන්නා. ඒගොල්ලෝ ඒක අපිට දැන් වාර්තා කරයි"

"සමහර අය ප්‍රකාශ කරනවා වගේ අගමැතිකම හෝ විපක්ෂ නායකකම ගන්න අපි කෙටි මාර්ග හෙව්වේ නැහැ. කරන්නෙත් නැහැ. ඒවා සම්පුර්ණ මඩගැහිල්ලක්" එක්වීමේ කොන්දේසි තමන්ට තනතුරු ලබාගැනීමට යැයි පළකර ඇති අදහස් හිටපු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේ එලෙසිනි.

සම්මුතිවාදී ආණ්ඩුවේ මත ගැටුම්?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා එක්ව ආණ්ඩුවක් පිහිටුවන බවට පළකර ඇති අදහසක් ගැන මාධ්‍යවේදියෙක් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසු විට ඔහු පැවසුවේ "ඒක තමයි අපිටත් ඕන යන්න කියන්නකෝ බලන්න, අපේ කට්ටිය අපිට දෙන්න, එතකොට ඉවරයි, අපේ ජනාධිපති එතකොට අපි බලාගන්නම්" යනුවෙනුයි.

හිටපු ජනාධිපතිවරයා සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ පක්ෂය එකමුතු කළ හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පමණක් බවය.
"වෙන කිසිවකුටත් බැහැ. ඔහු විධායක ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා" යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පැවසූ බව එම පුවත්පතේ සඳහන් විය.

මේ අතර මෙලෙස දෙපාර්ශ්වය අතර සාකච්ඡා ඉදිරියට යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්බද්ධ විපක්ෂයේ පොදු ජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට සුදනම්වූ අපේක්ෂකයන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. මෙම ලැයිස්තු දෙක එක් ලැයිස්තුවක් වුවහොත් ඡන්ද අපේක්ෂකයන් රැසකට අවස්ථාව අහිමිවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට 40%ක අවස්ථාවකුත්, ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයන්ට 40%ක අවස්ථාවකුත්, අනිකුත් පක්ෂවල අපේක්ෂකයන්ට 20%කුත් ලබාදීමේ පදනම මත දෙපාර්ශ්වයේ සාකච්ඡා සිදුවන බව වාර්තා වේ.

මේ ගැන බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් පැවසුවේ අපේක්ෂක ලැයිස්තු ගැන ගැටලුවක් පැවතියත්, දෙපාර්ශ්වයක් තරග කළහොත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්වීම වැළැක්විය නොහැකි බවය.

2015 වසරේ පැවති සාකච්ඡාවක්

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්බද්ධ විපක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා ගැන එක්සත් ජාතික පක්ෂයේ යම් සසලවීමක් සිදුව ඇති බව ඔවුන්ගේ පසුපෙළ මන්ත්‍රීවරුන් පසුගිය සතියේ කළ ඇතැම් ප්‍රකාශවලින් පෙන්නුම්කරයි.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කරත් නැතත් එය එක්සත් ජාතික පක්ෂයට බලනොපාන බවය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා මහින්ද රාජපක්ෂ පාර්ශ්වය අතර මැතිවරණයට එක්ව තරග කිරීම ගැන එකඟතාවක් ඇතිවුවත් එය ඇති වන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ කොන්දේසි අනුව නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළ බව පුරවැසි බලය සංවිධානය පවසයි.

2015 ජනාධිපතිවරණයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේනට සහාය දුන් සිවිල් සංවිධාන නායකයන් කිහිප දෙනෙකු හා ජනාධිපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව සාකච්ඡාවට එක්වූ පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ බීබීසි සිංහල සේවයට පැවසීය.

මැතිවරණයට එක්ව තරග කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය සමග සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපතිවරයා පිළිගත් බව පැවසූ ගාමිණී වියන්ගොඩ එය එක්සත් ජාතික පක්ෂය සමග තිබෙන ජාතික ආණ්ඩුවට ගැටලුවක් නොවන බව ඔහු ප්‍රකාශ කළේ යැයි ද පැවසීය.

බැඳුම්කර කොමිසම හරහා එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ උත්සාහයක නියැලෙන බවට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට පසුගිය සතියේ චෝදනා කළ අතර ජනාධිපතිවරයා ද ඊට දැඩි ප්‍රතිචාර දැක්විය.

ජාතික ආණ්ඩුවේ දෙපාර්ශයම අතර ඇතිව තිබෙන මෙම මතගැටුම සමථයකට පත්කිරීම සඳහා සිවිල් සංවිධාන නායකයන් ජනාධිපතිවරයා හමුව තිබේ.

ගොඨාභය දේශපාලනයට?

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීම ජනාධිපතිවරයා වැළැක්වූ බවට පළවන අදහස් ගැන ජනාධිපතිවරයාගෙන් විමසු බව ද ගාමිණි වියන්ගොඩ පැවසීය.

ස්වාමින් වහන්සේ පිරිසක් තමන් හමුවීමට පෙර ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගත යුතු බවට තීරණය කර තිබු බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව පවසන ගාමිණි වියන්ගොඩ, අගමැතිවරයා රටේ නොමැතිවිට එවැනි අත්අඩංගුවට ගැනීම් සිදු නොවිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළ බව කියා සිටියේය.
අගමැතිවරයා පසුගිය සතියේ ඉන්දියාවේ නිල සංචාරයක නියැලී සිටි අතර මේ සතියේ ජනාධිපතිවරයා විදේශගතවීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණි.

රාජපක්ෂ ආණ්ඩුවේ සිදුවූ බව පැවසෙන මහාපරිමාණ වංචා සඳහා ද බැඳුම්කර සිද්ධියට දැමු කොමිසම මෙන් ජනාධිපති කොමිෂන් පත්කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සිවිල් සංවිධාන නායකයන් හමුවේ පැවසූ බව ගාමිණී වියන්ගොඩ කියා සිටියේය.

සීමා නිර්ණය බල නොපැවැත්වෙන ප්‍රදේශයන්හි මැතිවරණ පැවැත්වේද?

මේ අතර පළාත් පාලන ආයතන 93ක් සඳහා පැවැත්වීමට යන ඡන්ද විමසීම් වෙනුවෙන් ඇප මුදල් බාර ගැනීම අද (නොවැ 27) දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ආරම්භ විය.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ කළුතර, ගම්පහ, ගාල්ල දිස්ත්‍රික්කවල ඡන්දය පවත්වන නගරසභා හා ප්‍රාදේශීය සභාවල ඇප මුදල් තැන්පත් කිරීම සිදුකල බව එහි ප්‍රකාශකයකු බීබීසියට කියා සිටියේය.

මේ අතර තවත් දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් කිහිපයක්ද දිස්ත්‍රික් මැතිවරණ නිළධාරීන් වෙත සිය ඇප මුදල් තැන්පත් කොට තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ.