බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ ස්ථාපිත එක්සත් රාජධානියේ Flexicare Group සමාගමට පූර්ණ අනුබද්ධ Flexicare Lanka (Pvt) Ltd. ආයතනයේ නවීන වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ විශේෂ නිරීක්ෂණයට පසුගියදා (30) ලක්විය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය පරිභෝජන ද්‍රව්‍ය (Medical Devices / Medical Consumables) නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වන Flexicare Lanka, මෙරට වෛද්‍ය නිෂ්පාදන කර්මාන්තයේ විදේශ ආයෝජන, තාක්ෂණ හුවමාරුව සහ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් සිටී.
පරිභෝජන ද්‍රව්‍ය රැසක් නිෂ්පාදනය කරමින් ලෝක වෙළෙඳපොළට

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අභියෝගාත්මක වූ සමයේ දී ඉදිකිරීම් අවසන් කර මෙහෙයුම් ආරම්භ කළ මෙම අති නවීන කර්මාන්ත ශාලාව අද වන විට ඔක්සිජන් මස්ක් (Oxygen Mask), නේසල් කැනුලා (Nasal Cannula), නෙබියුලයිසර් කට්ටල, නිර්වින්දන (Anaesthesia) සහ ශ්වසන (Respiratory) ප්‍රතිකාර සඳහා භාවිත කරන උසස් තත්ත්වයේ වෛද්‍ය උපකරණ සහ පරිභෝජන ද්‍රව්‍ය රැසක් නිෂ්පාදනය කරමින් ලෝක වෙළෙඳපොළට සැපයෙන වැදගත් මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.
මෙම කර්මාන්ත ශාලාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික සෘජු විදේශ ආයෝජනයක් සිදුකර ඇති අතර, ශ්‍රී ලංකාව තුළ මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය උපකරණ නිෂ්පාදන පහසුකමක් ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය සැලකේ.
ශ්‍රී ලංකාව වෛද්‍ය උපකරණ නිෂ්පාදනයේ කලාපීය මධ්‍යස්ථානයක්

මෙහි දී අමාත්‍යවරයා නිෂ්පාදන ක්‍රියාවලිය, තත්ත්ව පාලන පද්ධති, පර්යේෂණ හා නවෝත්පාදන කටයුතු, ජාත්‍යන්තර ප්‍රමිති, අපනයන ක්‍රියාවලිය සහ දේශීය සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීම තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳ සමාගමේ කළමනාකාරීත්වය සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළේ ය.
එමෙන් ම, ශ්‍රී ලංකාව වෛද්‍ය උපකරණ නිෂ්පාදනයේ කලාපීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම, ඉහළ තාක්ෂණික කර්මාන්ත සඳහා තවත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, දේශීය අගය එකතු කිරීම වැඩිදියුණු කිරීම, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ස්වයංපෝෂිතභාවය ඉහළ නැංවීමත්, උසස් තාක්ෂණික නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීමත්, ජාත්‍යන්තර සැපයුම් දාමයේ ශ්‍රී ලංකාවේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමත් සඳහා Flexicare Lanka වැනි ආයෝජන විශාල පිටුබලයක් සපයන බව ද මෙම නිරීක්ෂණ චාරිකාවේ දී අවධාරණය විය.
නවීන නිෂ්පාදන පද්ධති සහ තත්ත්ව පාලන ක්‍රමවේද

වසර 35කට අධික ඉතිහාසයකට හිමිකම් කියන Flexicare Group හි ප්‍රධාන මූලස්ථානය එක්සත් රාජධානියේ පිහිටා ඇති අතර, එක්සත් ජනපදය, ජර්මනිය, නෙදර්ලන්තය, ඉතාලිය, චීනය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක එහි අනුබද්ධ සමාගම් සහ කාර්යාල ක්‍රියාත්මක වේ. සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන වෛද්‍ය උපකරණවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ රටවල් 150කට අධික සංඛ්‍යාවක සෞඛ්‍ය පද්ධති වෙත සපයනු ලබයි.
ISO 13485 තත්ත්ව කළමනාකරණ සහතිකය සහ GMP ප්‍රමිතිවලට අනුකූල නවීන නිෂ්පාදන පද්ධති සහ තත්ත්ව පාලන ක්‍රමවේදවලින් සමන්විත මෙම කර්මාන්තශාලාව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ විශ්වාසයක් දිනාගත් ශ්‍රී ලංකාවේ අපනයන කේන්ද්‍රීය වෛද්‍ය නිෂ්පාදන ආයතනයක් ලෙස ද පිළිගැනේ.

මෙම අවස්ථාවට Flexicare Lanka (Pvt) Ltd. ආයතනයේ සාමාන්‍යාධිකාරී ජයමාල් වික්‍රමතුංග, කළමනාකරුවන් වන සාලින්ද අතුකෝරළ, අතුල පෙරේරා සහ චමල් කරුණාරත්න යන අය මෙන්ම කර්මාන්ත ශාලාවේ නිලධාරීන් සහ සේවක පිරිසක් ද එක්ව සිටියහ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
