Image

ජගත් VS කීර්ති ගැටුමේ ඇතුළු පැත්ත

ජගත් VS කීර්ති ගැටුමේ ඇතුළු පැත්ත

මේ දවස්වල ජගත් වික්‍රමසිංහ සහ කීර්ති පැස්කුවල් මහත්වරුන් අතර ඇති වෙලා තියෙන මතභේදාත්මක කතාබහ ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා ඔබත් දකින්න ඇති. හැබැයි මේ ප්‍රශ්නයේ ඇත්තම පැත්ත මොකක්ද කියලා ගොඩක් දෙනෙක්ට තවමත් පැහැදිලි නෑ. ඒ නිසා මැද ඉඳලා ඉතාම සරලව මේ අර්බුදය මොකක්ද කියලා පැහැදිලි කරන්නයි මේ සටහන ලියන්නේ.

ලංකාවේ ගායන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් අලුතෙන් සින්දුවක් හදද්දී, ඒක ලියපු පද රචකයාටයි සංගීතය නිර්මාණය කරපු කෙනාටයි ඒ මොහොතේ යම් මුදලක් ගෙවනවා. (ඉස්සර නම් ගොඩක් වෙලාවට මේවා වුණේ හිතවත්කම් මත.) හැබැයි ඊට පස්සේ ඒ ගායක ගායිකාවෝ තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම ඒ සිංදුව සංගීත ප්‍රසංගවල, විවිධ උත්සවවල, විදේශ සංචාරවල සහ ජනමාධ්‍යවල ගායනා කරලා විශාල මුදලක් උපයනවා. සමහර අය එක ප්‍රසංගයකින් ලක්ෂ ගණන් උපයන අවස්ථාත් තියෙනවා.

හැබැයි අර මුලින්ම කරපු එක වතාවක ගෙවීම හැරුණාම, ඊට පස්සේ ඒ සිංදුවෙන් දිගින් දිගටම උපයන මුදලින් කිසිම කොටසක් පද රචකයාට හෝ සංගීතඥයාට ලැබෙන්නේ නෑ. ජාත්‍යන්තර බුද්ධිමය දේපළ නීතියට අනුව නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්.

මෙන්න මේ අසාධාරණයට විසඳුමක් ගෙනෙන්න තමයි ACPOSL (ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල කාර්‍යාලයේ ලියාපදිංචි ආයතනයකි.) කටයුතු කරන්නේ. මේ කටයුත්තේදී ඕනෑම තැනක මුදල් එකතු කිරීමට ACPOSL ආයතනයට බලය ඇත. (පද රචකයන් සහ සංගීතවේදීන් වෙනුවෙන්.) ඔවුන් කරන්නේ ගායකයෙක් ප්‍රසංගයකදී ගීතයක් ගායනා කරද්දී, ඒ ගීතය වෙනුවෙන් දල වශයෙන් පද රචකයාට රු. 4,000ක් සහ සංගීතවේදීයාට රු. 4000ක් පමණ මුදලක් (සමහරවිට මේ ගණන මීටත් වඩා අඩු වෙනවා.) ප්‍රසංගයෙන් අය කරලා අදාළ නිර්මාණකරුවන්ට ලබා දෙන එක. උදාහරණයකට ගායකයෙකු ලක්ෂයක පමණ මුදලක් ලබාගනිද්දි ඒ ගීතය නිර්මාණය කරපු දෙදෙනාට ඉන් ඉහත සඳහන් කළ අයුරු සුළු කොටසක් බෙදී යන ලෙසට. ඒ වගේම මෙය 2003 බුද්ධිමය දේපළ පනත අනුව ක්‍රියාත්මක කරන දෙයක්.

ඉතාම සරලවම කිව්වොත් කතාව මෙන්න මේකයි.

දැන් ප්‍රශ්නය තියෙන්නේ මෙන්න මෙතැනයි. ජගත් වික්‍රමසිංහ මහතා කතා කරන්නේ මේ ක්‍රමවේදයට විරුද්ධවයි. කීර්ති පැස්කුවල් මහතා පෙනී සිටින්නේ මේ ක්‍රමවේදයට පක්ෂවයි. මේ සරල යථාර්ථය තේරුම් ගත්තා ම, මේ සංවාදය කොතැනද තියෙන්නේ කියලා ඕනෑම කෙනෙකුට පැහැදිලි වේවි.

ජගත් වික්‍රමසිංහගේ අදහස් දැක්වීම මෙතනින්

කීර්ති පැස්කුවල්ගේ අදහස් දැක්වීම මෙතනින්

 

jagath

 

 

 

 

 

සටහන - ජගත් ප්‍රසන්න කුරුගම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න