නිපුණතා සංවර්ධනයටත්, ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්රතිසංස්කරණයටත් ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 100 බැගින් වූ ණය පහසුකම් දෙකක්; මුළු ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම් දෙකම අද (06) දින කොළඹ මහ භාණ්ඩාගාරයේදී අත්සන් කරනු ලැබූ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් අත්සන් තබන ලදී.
පළමු ණය - නිපුණතා සංවර්ධනයට ඩොලර් මිලියන 100ක්
නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ණය මුදල ලැබේ.
2027 සිට 2031 දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් නිපුණතා මාර්ග ශක්තිමත් කිරීම, ගුණාත්මක හා රැකියා කේන්ද්‍රීය වෘත්තීය පුහුණුව පුළුල් කිරීම, කාර්මික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්රයේ කර්මාන්ත හා සේවායෝජකයින් සමඟ සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ TVET ක්ෂේත්රයේ පාලනය ශක්තිමත් කිරීම සිදු කෙරේ.
මෙමගින් දැනට පවතින මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනය මෝටර් රථ කාර්මිකය සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් (Centre of Excellence) බවට උසස් කිරීම හා TVET මධ්‍යස්ථාන 09ක් කලාපීය මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමද සිදු වේ. තවත් පුහුණු මධ්‍යස්ථාන 40කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කරමින් ඉගෙනුම් ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා ගුණාත්මක පුහුණුව සඳහා ප්‍රවේශය පුළුල් කිරීමද මෙහිදී සිදු කෙරේ.
ජාතික නිපුණතා ප්‍රමිතින් 200ක් (National Competency Standards) සංවර්ධනය කිරීම, ඩිජිටල් පරිවර්තනය යටතේ ඊ - ඉගෙනුම් වේදිකාවක් (e-learning platform) සහ කම්කරු වෙළෙඳපොළ හා පාසල් කලමනාකරණ තොරතුරු පද්ධති සමඟ සම්බන්ධ වූ ඒකාබද්ධ පුහුණු කලමනාකරණ තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමද මෙම වැඩසටහනට ඇතුළත් වේ.
දෙවන ණය - ජලය හා සනීපාරක්ෂාවට ඩොලර් මිලියන 100ක්
ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහනේ උපවැඩසටහන 2 ක්‍රියාත්මක කිරීම සඳහා දෙවන ණය මුදල ලැබේ. ජල සුරක්ෂිතතාව, දේශගුණික ප්රතිරෝධිතාව, පරිසර ආරක්ෂාව, සේවා ගුණාත්මකභාවය සහ ජල අංශයේ මූල්‍යමය ශක්තිමත්භාවය වැඩිදියුණු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම ණය පැකේජය ඇමරිකානු ඩොලර් මිලියන 50ක සහනදායි ණයක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 50ක නීත්‍ය ණයක් ලෙස කොටස් දෙකකින් සමන්විත වේ. ජල සම්පත් කළමනාකරණය, ජල පාලනය, අපජල හා සනීපාරක්ෂක කළමනාකරණය ශක්තිමත් කිරීම, ජල සංරක්ෂණ ප්‍රවර්ධනය, බදු ප්‍රතිපත්ති සහ මූල්‍ය තිරසාරභාවය වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ.
මෙම වැඩසටහන් දෙකම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිලාභය තහවුරු කරමින්, තරුණ පරම්පරාවට රැකියා සහ ජනතාවට පිරිසිදු ජලය ලබා දීමට රජය අපේක්ෂා කරන බව මුදල් ලේකම්වරයා කියා සිටියේය.
ජේ. මුණසිංහ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
