Image

සජිත්ගේ දේශපාලන සතිය

සජිත්ගේ දේශපාලන සතිය

"කථානායක ශාපය"

WhatsApp Image 2026 11 01 at 5.58.54 PM

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එල්ලවී ඇති පෞද්ගලික විෂමාචාර චෝදනා සහ නීති විරෝධී ක්‍රියාකාරීත්වය පදනම් කරගනිමින් සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව, චෝදනාවට ලක්ව සිටින කතානායකවරයා විසින්ම විවාදයට නොගෙන බැහැර කිරීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය එල්ල කළ ප්‍රබල බලපෑමක් වී තිබේ.

එලෙස ඇස් පනාපිට තමන්ට නැගෙන චෝදනා ඔහු විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කරද්දී, ආණ්ඩුව ජනතාවගේ හඬ යටපත් කිරීමේ යටි අරමුණු ඇතිව විවිධ අණපනත්ද සම්මත කිරීමට උත්සාහ ගන්නා වටපිටාවක් රට තුළ නිර්මාණය වෙමින් තිබේ.

මහජන නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන්ට ඇති අයිතියට කතානායකවරයා මේ ආකාරයෙන් බරපතල ලෙස තර්ජනය එල්ල කරමින් සිටින බව සමගි ජනබලවේගය ඇතුලූ විපක්‍ෂයේ මන්ත්‍රීවරු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

දූෂණයට එරෙහිව බලයට පත්වූ ආණ්ඩුවේ කථානායකවරයාම අන්ත දූෂිතයකු වී ඇති පසුබිමක තමන් ගෙන ආ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කර ඇති කරණු තර්කානුකූල හෝ සාධාරණ නොවන බව එම නිවේදනයෙන් අවධාරණය කර තිබුණි. විශ්වාසභංග යෝජනාවේ සඳහන් කරුණු අධිකරණමය ක්‍රියාවලියකට යටත්ව ඇති බවට ආණ්ඩුව ගෙන එන තර්කය කිසිසේත්ම සත්‍යයක් නොවන බව ද ඔවුන් පෙන්වාදී තිබුණි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, තමන්ට විවිධ චෝදනා එල්ල වෙද්දී එම චෝදනාවලට පසුබිම සැකසුණු ආකාරය සෙවීමට විමර්ශන කමිටුවක් පත්කළ, අතර එය දැන් පාරා වළල්ලක් වී ඇති බව විපක්ෂය අවධාරණය කළේ එවැනි පසුබිමක් තුළය.

කතානායකවරයා විසින්ම පත්කළ කමිටුවේ නිර්දේශ මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර හොබවන කථානායකවරයාගේ පෞද්ගලික විෂමාචාර රටට හෙළිදරව් වේයැයි ආණ්ඩුව බියට පත්ව සිටින බව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

 

ලේකම් යන්නේ කන්නද? නැත්නම් කවන්නද?...

රජමල්වත්තේ පිහිටි කතානායක නිල නිවස භාවිත කරන අතරතුර, කොළඹ 04, ලොරිස් පටුමගේ පිහිටි රජයට අයත් සුපිරි නිවාස සංකීර්ණයකින් ලබාගත් තවත් සුඛෝපභෝගී නිවසක්ද පරිහරණය කරන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, සිය බලතල අනිසි ලෙස භාවිතා කරමින් එම නිවාස සංකීර්ණයෙන්ම තම පෞද්ගලික ලේකම්වරයාටද සුපිරි නිවසක් ලබාගෙන ඇති බවට විපක්ෂය චෝදනා කරමින් සිටී.

සිය පෞද්ගලික ලේකම්වරයා ද පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම්වලට පවා අනීතිකව සම්බන්ධ කරගන්නා බවත්, සිය බලතල යොදවමින් නියමිත වාහන සංඛ්‍යාවට අමතරව තවත් වාහන ලබාගනිමින් අනිසි භාවිතය තුළින් රාජ්‍ය දේපළ අයථා පරිහරණය සිදුකරන බවටත්, විපක්ෂය කථානායකවරයාට චෝදනා කර තිබේ.

තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව පත්වූ මාලිමා ආණ්ඩුවට කථානායක ශාපයක් ඇති බව දැන්, දැන් සමාජය විශ්වාස කරන කාරණයක් වී තිබේ.

මාලිමා ආණ්ඩුවේ පළමු කථානායක අශෝක රංවලට චෝදනා එල්ලවුනේ අධ්‍යාපන සුදුසුකම් වංචා කිරීමක් ගැනය.

ආචාර්ය අශෝක රංවල ලෙසින් පෙනී සිටිමින් ගම්පහ දිස්ත්‍රීක් ජනතාවට මෙන්ම මුළු මහත් රටටම ඔහු බොරු අධ්‍යාපන සුදුසුකම් ගැන පුරසාරම් දොඩා වංචාවක් සිදු කළේය.

අවසානයේ ඔහුට තම ආචාර්ය උපාධිය තහවුරු කිරීමට නොහැකි වූ කළ ඔහු කථානායක ධූරයෙන් ඉල්ලා අස්විය.

රංවලගේ ඇවෑමෙන් කථානායක ධූරයට පත්වූ වෛද්‍ය  ජගත් වික්‍රමරත්නට දැන් ඊටත් එහා චෝදනා රැසක් එල්ලවී ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දූෂණ විරෝධී පනත, පොදු දේපළ පනත, දණ්ඩ නීති සංග්‍රය, තොරතුරු දැනගැනීමේ පනත, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ ආචාරධර්ම සංග්‍රහ හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ඇතුළු නීතිමය කාරණා රැසක් වත්මන් කථානායකවරයා උල්ලංඝණය කර ඇති බවට, විපක්ෂය විශ්වාසභංගය මගින් අවධාරණය කර තිබේ.

“කතානායක නිල නිවසේ තුවායේ ඉදන් අතුරුදන්වන තත්ත්වයක් දැන් තියෙන්නේ” සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී එහෙම කීවේ මන්ත්‍රී අජිත් පෙරේරාය.

“ අපි කිව්වනේ මේ එල්ලවෙලා තියෙන චෝදනා ගැන අල්ලස් කොමිසම කරන පරීක්‍ෂණ ඉවරයක් වෙනතුරු ජගත් වික්‍රමරත්න කතානායක ධුරයේ කටයුතුවලින් ඉවත් කරන්න කියලා. ඇත්තටම ඒක අපි කියන්න දෙයක් නෙමෙයි, සදාචාරයක් තියෙනවා නම් ඔහු ඉවත්වෙන්න ඕන. ඒක කළේ නැති නිසා තමයි අපි මේ විශ්වාසභංගය ගෙනාවේ. ඒ විතරක්ද ? මට නම් මේවා කියන්නත් අප්පිරියයි. මේ මනුස්සයට ලේකම් නැතිව මොකුත් කරන්න බෑනේ. කතානායක භෝජනාගාරයට ගිහින් පුද්ගලික ලේකම්ලා කෑම කෑව කියලා ඉතිහාසේ කිසිදවසක අපි අහලා නෑ. දැන් කනවා විතරක් නෙමෙයි ඒවට සල්ලි ගෙවලත් නෑ. පාර්ලිමේන්තු කැන්ටිම වහන්න ආපු අය අද ඒවායෙන් කන්නේ හිතවත්තු එක්ක එකට ඉඳලා. මේවා ඇත්තටම රටම දැනගන්න ඕන කාරණා.”මරික්කාර් මන්ත්‍රීවරයා එහෙම කීව්වේ තරමක් ආවේගයෙන් යුතුවය.

“ කවුද දන්නේ කන්නද? යන්නේ කවන්නද ? කියලා.” තවත් මන්ත්‍රීවරයෙක් එහෙම කියද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමම කොක් හඬලා සිනාසෙනු දකින්නට විය.

 

නඩු අස්සේ හැංගෙන අලුත්ම තියරිය…

WhatsApp Image 2026 11 01 at 6.03.41 PM

පසුගිය 09 දා පාර්ලිමේන්තුවට භාරදුන් කතානායකවරයාට එරෙහි විශ්වාසභංගය 12 වැනිදා වන විට න්‍යාය පුස්තකයට ඇතුළත් වී තිබුණත්, එය ක්ෂණිකව න්‍යාය පුස්ථකයෙන් ඉවත් වුනේ කාගේ බලපුළුවන්කාර කමකටද යන්න තවමත් ගැටළුවක්ය.

එදින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම විශ්වාසභංගය විවාදයට ගැනීමෙන් වැලකිය යුතු බවට වූ යෝජනාවක් සම්මත කරගෙන තිබුණි. ඊට හේතුව ලෙස සඳහන් කර තිබුණේ, විශ්වාසභංගයේ අඩංගු චෝදනා හෝ ප්‍රකාශ අධිකරණ ක්‍රියාවලියකට බාධාවක් විය හැකි බවය.

මරික්කාර් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

“පාර්ලිමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරයෙක් පවරපු නඩුවක් තියෙනවා. ඒක තාම විභාගයට අරගෙනත් නෑ. ඒ නිසා ඒක නඩුකරයකුත් නෙමෙයි. දැන් මේ කරන්නේ ඒ නඩුවට මුවාවෙලා ලැජ්ජ නැති විදියට මේ විශ්වාසභංගය මගහැරලා බේරෙන්න හදන එක. විශ්වාසභංගයේ තියෙන කිසිදු චෝදනාවක් අපි සංශෝධනය කරන්නේ නෑ.  විශ්වාසභංගයට ඉඩ දෙන්නේ නැත්නම්, කතානායකවරයාට එරෙහි චෝදනා 50 ගැනම ජනතාව දැනුම්වත් කරමින් ආණ්ඩුවටම එරෙහිව ජනබලය ගොඩනගන්න අපි කටයුතු කරනවා.” මරික්කාර් අවධාරණය කළේය.

 

සජිත් හදිසියේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවුනේ ඇයි ?

WhatsApp Image 2026 11 01 at 6.04.49 PM

වත්මන් රජය ගෙන ඒමට සැලසුම් කර ඇති  ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ අඩංගු බරපතල මර්ධනකාරී තත්ත්වයන් පිළිබඳව විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ජාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි.

ඒ සඳහා විදෙස් රටවල් කිහිපයක මහකොමසාරිස්වරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන් රැසක් එක්ව සිටි අතර, සමගි ජනබලවේගයට අමතරව විපක්ෂයේ සෙසු පක්ෂ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, රවී කරුණානායක, ශානක්‍යයන් රාසමානික්කම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී තිබුණි.

WhatsApp Image 2026 11 01 at 6.04 PM

රජය ගෙන ඒමට සැලසුම් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ අඩංගු බරපතල මර්ධනකාරී තත්ත්වයන් පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යෙමු කර ඇති විපක්ෂයේ නියෝජිතයින්, එම නීති ක්‍රියාත්මක කිරීම හරහා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරය සහ නීතියේ ආධිපත්‍යයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් අවධාරණය කර ඇත්තේ, මේ වනවිටත් මානව හිමිකම් කොමිසම පවා සිය වාර්තාවක් හරහා නොසතුට පළ කර ඇති මෙම පනත් කෙටුම්පත් පිළිබඳව තමන්ද සිය විරෝධය සහ කනස්සල්ල පළ කරන බවය.

 

සජිත්ගේ ලුණුගම්වෙහෙර සංචාරය…

WhatsApp Image 2026 11 01 at 6.05.12 PM

අලි මිනිස් ගැටුම ගැන සොයා බැලීමට සජිත් පසුගිය සතියේ දින කිහිපයක් ගත කළේ, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේය. එහිදී සජිත්ට මුණ ගැසුණු ගොවි ජනතාව පැවසුවේ, රටට සුබයි කිව්වට අලි මිනිස් ගැටුමට විසඳුමක් දීමටවත් වර්තමාන රජයට නොහැකි වී ඇති බවය.

“සර්, අපි වගා කරන්නේ කණකර උගසට තියලා. අලි ඇවිත් ඒ සියල්ල විනාශ කරනවා. ඉතිං ඒක අලින්ගේ වරද නෙමෙයි. අපිට ඒක තේරෙනවා. ඒත් මේක කළමනාකරණය කරන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. ආණ්ඩුව ඒකට කිසිම මැදිහත්වීමක් කරන්නේ නෑ.” යනුවෙන් ගොවීන් සජිත් හමුවී මැසිවිලි ඉදිරිපත් කළේය.

ඊට පිළිතුරු දුන් සජිත් කීවේ මේ ගැටලුවට විසඳුම් සෙවීම ක්‍රමානුකූලව කළ හැකි බවය. ඉඩම් පරිහරණ සැලසුමක් ගැනද ගොවීන්ට සජිත් එහිදී පැහැදිලි කළේය. ඒ වගේම අලි මිනිස් ගැටුම් ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාවටත්, අලි ඇතුන්ටත්ට ප්‍රතිලාභ ලැබෙන ලෙස පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ගැනද සජිත් පැහැදිලි කළේය.

 

සජිත්ව වටකර ගත් කැමරාලෝලීන්

WhatsApp Image 2026 11 01 at 6.06.10 PM

ඡායාරූපකරණය, සුන්දර විනෝදාංශයක් කරගත් බොහෝ පිරිසක් ලොව පුරා රටවල මෙන්ම අපේ රටේද සිටිනු දැකගත හැකිය.

මෙරට සිටින ඡායාරූප ශිල්පීන් සහ විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයේ නිරතව සිටින තරුණ පරපුරේ වාර්ෂික මංගල්‍ය Image Expo ප්‍රදර්ශනය මෙවරත් බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

සෑම වසරකම මෙන් මෙවරත් සජිත් ප්‍රේමදාස එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියේ, ඡායාරූපකරණයේ නවමු තාක්ෂණය ගැන නිරත්තරයෙන් උනන්දුවීම නිසාමය.

WhatsApp Image 2026 11 01 at 6.06.PM

එහිදී තරුණයින්ගෙන් සජිත්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර පාසැල් සිසුන් පිරිසක්ද ඔහුව වටකර ගත්තේ සෙල්ෆ් ඡායාරූප ගන්නටය.

“ මමත් විනෝදාංශයක් විදිහට වනජීවී ඡායාරූපකරණයේ නියැලෙනවා. ඡායාරූප කේෂ්ත්‍රයේ ව්‍යවසායකයන් බිහි කරවන්න Image Expo වගේ ප්‍රදර්ශන පැවැත්වීම කාලෝචිතයි. ඒ වගේම පාසල් මට්ටමින් ඡායාරූපකරණය හදාරණ දරුවන්ටත්, ඒ සංගම්වලටත් සහන මිලකට කැමරාවක් ලබාගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ඕන. මේ අපේ රටේ ප්‍රචලිත කිරීම වැදගත් කියලා මම විශ්වාස කරනවා.”

මම | බංගලා හන්දියේ ලියුම්කරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න