අලුතින් හඳුන්වා දී ඇති පොලිස් උසස්වීම් ක්රමවේදය තුළ අධිකරණ කටයුතු භාර නිලධාරීන්ගේ රාජකාරි වෙනුවෙන් ලකුණු ලබා දීමේ නිසි යාන්ත්රණයක් නොමැති වීම හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් පවතින බව එම නිලධාරීන් පෙන්වා දෙයි.
මෙම රාජකාරියට අධිකරණ පද්ධතිය සහ නීති වෘත්තිකයන් සමඟ කටයුතු කිරීම මෙන්ම, මහජනතාවට අතිශය වැදගත් සේවාවක් සැපයීම ද ඇතුළත් වේ.
පොලිස්පතිවරයාගේ 2194/2009 දරන චක්රලේඛය සහ අපරාධ විමර්ශන සම්බන්ධ 23/2009 දරන චක්රලේඛයට අනුකූලව, දිවයින පුරා පොලිස් ස්ථානවල 'නඩු මෙහෙයවීමේ ඒකක' (Case Prosecution Units) පිහිටුවා ඇත. මෙම ඒකකවල ස්ථානාධිපතිවරුන්ට (OIC) නඩු කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් පූර්ණ බලතල සහ උපදෙස් ලබා දීමේ අයිතිය පවරා තිබේ.
කෙසේ වෙතත්, මෙම ඒකක නිල වශයෙන් ගැසට් පත්රයේ පළ කර නොමැති බව පවසමින්, ඇතැම් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් (SDIGs) මෙම ඒකකවල ස්ථානාධිපතිවරුන්ගේ කාර්ය සාධනය ඇගයීමට හෝ ඔවුන්ට ලකුණු ලබා දීමට ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
නඩු කටයුතු මෙහෙයවන නිලධාරීන්ට යම් ඇගයීමක් හෝ ප්රශංසාවක් ලබා දීම සඳහා නිශ්චිත යාන්ත්රණයක් ස්ථාපිත කෙරෙන චක්රලේඛයක් හෝ උපදෙස් මාලාවක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් නිකුත් කර නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.
එබැවින්, උසස්වීම් ලබා ගැනීමේදී තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව එම නිලධාරීන් පෙන්වා දෙන අතර,පොලිස්පතිවරයා ඇතුළු ඉහළම නිලධාරීන් වෙත මේ සම්බන්ධයෙන් ලේඛනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔවුහු සඳහන් කරති.
මූලාශ්රය - www.sundaytimes.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
