Language Switcher

V2025

එදා රෑ හෝටල් කාමරයේ  වුණ දේ : ධනුෂ්ක ගුණතිලක කියයි !

ශ‍්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක ගැන බොහෝ කතාබහට ලක්විය. ඒ ඔහුගේ දක්ෂතාවයන් ගැන නම් නොව නෝර්වේජියානු තරුණියන් දෙදෙනෙක් සමග ඇතිවූ ගැටලූවක් පිළිබඳවය. එම සිද්ධියේ ඇත්ත නැත්ත සහ ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන ධනුෂ්ක ගුණතිලක සමග කළ සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය – කොහොමද ධනුෂ්ක…

පිළිතුර – හොඳින් ඉන්නවා.

ප‍්‍රශ්නය – කි‍්‍රකට්වලට යොමුවුණේ කොහොමද?

පිළිතුර – කුඩා කාලයේ සිටම මම කි‍්‍රකට්වලට ආස කළා. මුලින්ම මම පාසල් ගියේ පානදුර මහානාම විදුහලට. එහෙදි තමයි මම කි‍්‍රකට් ගහන්න පටන් ගත්තේ. ඊට පස්සේ ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ මහානාම විදුහලට ආවා. එතැන් සිට මම දිගටම කි‍්‍රකට් සෙල්ලම් කළා.

ප‍්‍රශ්නය – ඒ කාලයේ දී ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් වෙයි කියලා හිතුවද?
පිළිතුර – ඇත්තටම ආසාවක් තිබුණා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. කි‍්‍රකට් ගහන කෙනෙක්ගෙ බලාපොරොත්තුව ඒකනේ… මට වඩා මාව දිරිමත් කළේ මගේ තාත්තා. එයා නිතරම කිව්වා ‘පුතා ඔයාට කවදහරි දිනයක ශ‍්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන්. ඒ තරම් ඔයා දක්‍ෂයි කියලා’ තාත්තගේ ඒ වචන ආශිර්වාදයක් කරගෙන හැකි උපරිම අයුරින් මම කි‍්‍රකට් සෙල්ලම් කළා. ඒකෙ ප‍්‍රතිඵල තමයි අද මම භුක්ති විඳින්නේ.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණු බව දැනගත් මොහොතේ කොච්චර සතුටු වුණාද?

පිළිතුර – ඒක වචනවලින් කියන්න බැහැ. ඇත්තම කිව්වොත් එදා ? මට හරියට නින්ද ගියෙත් නැහැ. සතුට වැඩිකමට.

ප‍්‍රශ්නය – පළමු ජාත්‍යන්තර තරගය සෙල්ලම් කරන විට හිතට බයක් දැනුණද?

පිළිතුර – එහෙම බයක් දැණුනේ නැහැ. මම රට වෙනුවෙන් සෙල්ලම් කරනවා කියලා හිතාගෙන තමයි ක‍්‍රීඩාංගණයට බැස්සේ. වෙනද විදිහටම සෙල්ලම් කළා. එච්චරයි.

ප‍්‍රශ්නය – ඔබ ඉතා ඉක්මනින් ජනපි‍්‍රය ක‍්‍රීඩකයෙක් බවට පත්වුණා.

පිළිතුර – ඔව්. මමත් හිතනවා. එහෙම වුණා කියලා.

ප‍්‍රශ්නය – දැන් ජනපි‍්‍රය ක‍්‍රීඩකයෙක් නිසා ප‍්‍රතිචාරත් ගොඩක් ලැබෙනවා ඇති.

පිළිතුර – ඔව්. ප‍්‍රතිචාර ගොඩක් ලැබෙනවා.

ප‍්‍රශ්නය – ඒ අතර තරුණියන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

පිළිතුර – තරුණියන්ගෙනුත් සෑහෙන්න ප‍්‍රතිචාර ලැබෙනවා.

ප‍්‍රශ්නය – තරුණියන්ගෙන් ප‍්‍රතිචාර විතරද ලැබෙන්නේ….

පිළිතුර – වෙන මොනව ලැබෙන්නද? කි‍්‍රකට්වලට කැමති සමහර තරුණියෝ මටත් කැමැතියි. ඒක සාමාන්‍ය දෙයක්.

ප‍්‍රශ්නය – එම තරුණියන්ගෙන් ආදර යෝජනා පවා ඇවිල්ලා ඇතිනේ…

පිළිතුර – සමහරුන්ගෙන් ඇවිල්ලා තියෙනවා. ඒත් ඒවා ගැන මම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මට අවශ්‍ය කි‍්‍රකට් සෙල්ලම් කරන්න විතරයි.

ප‍්‍රශ්නය – ඔබට පෙම්වතියක් ඉන්නවද?

පිළිතුර – නැහැ. මට පෙම්වතියක් තවම නැහැ.

ප‍්‍රශ්නය – ඒක පිළිගන්න අමාරුයි නේ…

පිළිතුර – ඇයි අමාරු. මම කියන්නේ ඇත්ත. මට පෙම්වතියක් නැහැ.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ ආදරය ගැන ඔබ තැකීමක් කරන්නේ නැහැ.

පිළිතුර – එහෙම ආදරයක් මට දැනට අවශ්‍ය නැහැ. මගේ අම්මා, තාත්තා, පවුලේ අයගෙන් ලැබෙන ආදරය දැනට හොඳටම ඇති.

ප‍්‍රශ්නය – එතකොට කව්ද මේ සිල්ජේ තයිලෑන්.

පිළිතුර – එයා මගේ යෙහෙළියක්.

ප‍්‍රශ්නය – නෝ්ර්වේ ජාතික තරුණියක් කොහොමද ඔබගේ යෙහෙළියක් වුණේ?

පිළිතුර – අපි දැන හඳුන ගත්තේ ෆේස් බුක් හරහා. ඒ දැනහැඳින ගැනීම තමයි යහළුකමට පෙරළුණේ.

ප‍්‍රශ්නය – එතැන යහළුකමට එහා ගිය සම්බන්ධයක් තිබුණා නේද?

පිළිතුර – එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. ඒක අමූලික බොරුවක්. මට මඩ ගහන්න කරපු දෙයක්.

ප‍්‍රශ්නය – ජූලි 21 වැනි දින රාති‍්‍රයේ මොකක්ද සිද්ධ වුණේ…

පිළිතුර – එදින රාති‍්‍රයේ මට නෝර්වේජියානු යෙහෙළියව මුණගැසුණා.

ප‍්‍රශ්නය – ඇයි හදිස්සියේම ඇයව මුණ ගැසුණේ…

පිළිතුර – ඇය පසුදින තම මව්රටට යන්න හිටියේ. මාගෙන් ඇසුවා යන්න ඉස්සෙල්ලා මුණගැසෙමුද කියලා. ඉතින් මම හා කිව්වා.

ප‍්‍රශ්නය – කොහේදිද මුණගැසුණේ…

පිළිතුර – එදින මම නැවතිලා හිටිය කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි හෝටලයකදී.

ප‍්‍රශ්නය – ඇය තනියමද ආවේ…

පිළිතුර – නැහැ. ඇයගේ මිතුරියක් ආවා. මම ඇයව දන්නේ නැහැ.

ප‍්‍රශ්නය – සන්දීප් ජූඞ් සෙල්ලයියා කියන්නේ කව්ද?

පිළිතුර – මම දන්න යාළුවෙක්. එංගලන්ත පුරවැසිභාවය තියෙන ශ‍්‍රී ලාංකිකයෙක්. එයා එංගලන්තේ ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායමකට සෙල්ලම් කරනවා. නිවාඩුවකට තමයි ශ‍්‍රී ලංකාවට ඇවිත් තියෙන්නේ.

ප‍්‍රශ්නය – එදින රාති‍්‍රයේ සන්දීප් සහ නෝර්වේජියානු තරුණියන් දෙදෙනෙක් එක්ක ඔබ මත්පැන් පානය කළා නේද?

පිළිතුර – නැහැ. එහෙම දෙයක් කළේ නැහැ. එදින මම මුණගැසුණේ තයිලෑන් කියන මගේ මිතුරියව විතරයි. අපි මත්පැන් පානය කළේ නැහැ.

ප‍්‍රශ්නය – එතකොට තයිලෑන්ගේ මිතුරිය වන හෙජ් බැකින්සින් තමාව දූෂණය කළා කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ ඇයි?

පිළිතුර – ඒක මම දන්නේ නැහැ. මට විරුද්ධ කවුරුත් පැමිණිල්ලක් දාලා නැහැනේ. එම තරුණිය සන්දීප්ට විරුද්ධව තමයි පැමිණිල්ල දාලා තියෙන්නේ. එතැන කිසිම තැනක මගේ නම සඳහන්වෙලා නැහැ.

ප‍්‍රශ්නය – ඒ වුණාට රටම දැනගන්නේ මෙම සිද්ධියට ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයි කියලනේ…

පිළිතුර – ඒක අමුලික බොරුවක්. මම නැවතත් කියා සිටිනවා එම සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මේක මගේ නම කැත කරන්න කරපු වැඩක්.

ප‍්‍රශ්නය – ඇයි ඔබ එහෙම කියන්නේ…

පිළිතුර – නැහැ. මට දැනගන්න ලැබුණා. සමහර වෙබ්සයිට්වලට සල්ලි දීලා මෙම සිද්ධියට මගේ නම සම්බන්ධ කරලා මඩ ගහන්න කියලා තියෙනවා.

ප‍්‍රශ්නය- කව්ද එහෙම කරන්නේ…

පිළිතුර – මට විරුද්ධ කට්ටියක් තමයි එහෙම කරලා තියෙන්නෙ.

ප‍්‍රශ්නය – ඇයි ඔබට කට්ටිය විරුද්ධ?

පිළිතුර – කි‍්‍රකට් සෙල්ලම් කරන නිසා වෙන්නැති

ප‍්‍රශ්නය – කොහොම කීවත් එම තරුණිය දූෂණය කර තිබෙන්නේ ඔබගේ මිතුරා අතින්නේ…

පිළිතුර – ඔහු මගේ මිතුරා වුණාට මම මේ සිද්ධියට සම්බන්ධ නැහැනේ… අඩුගානේ ඒ තරුණියගේ අතින්වත් අල්ලලා නැහැ. මම මේ සිද්ධියට සම්බන්ධ නම් ඇයට පොලිසියේ දී කියන්න තිබුණනේ මගේ නමත්. ඇය මට විරුද්ධව කිසිවක් කියලා නැහැ. ඒකෙන්ම තේරෙනවනේ මම මේ සිද්ධියට සම්බන්ධ නැහැ කියලා.

ප‍්‍රශ්නය – අවසන් වරටත් ඔබ කියන්නේ එම සිද්ධියට ඔබගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලද?

පිළිතුර – නැහැ තමයි. එහෙම සම්බන්ධයක් තිබුණනම් මටත් පොලිසියට යන්න වෙනවනේ…

ප‍්‍රශ්නය – ඔබගේ මිතුරිය තයිලෑන් මේ සිද්ධිය සම්බන්ධයෙන් කුමක්ද පැවසුවේ…

පිළිතුර – ඇය ගොඩක් දුක්වුණා.

ප‍්‍රශ්නය – තයිලෑන් මෙම සිද්ධිය නිසා ඔබ සමගත් අමනාප වුණාද?

පිළිතුර – නැහැ. මම වරදක් කරලා නැහැනේ… ඒක නිසා මගෙත් එක්ක තරහ වෙන්න හේතුවක් නැහැනේ…

ප‍්‍රශ්නය – ඔබ වරදක් කරලා නැත්නම් තරග තහනමකට ලක්වුණේ කෙසේද?

පිළිතුර – ඒ මම කාමරයට ප‍්‍රමාදවෙලා ආපු නිසා.

ප‍්‍රශ්නය – ඇයි ප‍්‍රමාදවෙලා කාමරයට ආවේ…

පිළිතුර – තයිලෑන් මුණගැසුණ නිසා.

ප‍්‍රශ්නය – මෙම සිද්ධිය නිසා ඔබගේ නම කැතවුණා කියලා හිතෙන්නේ නැද්ද?

පිළිතුර – නොකළ වරදකට මගේ නම ගෑවුණ නිසා මට ලොකු හානියක් වුණා. ඒ වගේම තව පිරිසකට උවමනා වුණා මෙම සිද්ධියට මගේ නම පටලවාගෙන මට මඩ ගහන්න.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ මෙම සිද්ධිය සමග ඔබ මානසිකවත් වැටුණා.

පිළිතුර – ඇත්තටම එකපාරට මට මේක දරාගන්න බැරිවුණා. ඒත් පසුව මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ සහ ළඟින් ඇසුරු කරන හුඟ දෙනෙක් මගෙත් එක්ක හිටියා. ඔවුන් මාගේ හිත හැදුවා.

ප‍්‍රශ්නය – පෙම්වතියක් සොයා ගන්න කාලය දැන් හරි නේද…

පිළිතුර – ඒ ගැන තවම හිතලා නැහැ.

ප‍්‍රශ්නය – ඇයි ඒ….

පිළිතුර – කි‍්‍රකට්වලින් මට තව ඉදිරියට යන්න තියෙනවා. ඒ සඳහා තව ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඒක නිසා ආදරය ගැන පසුව හිතනවා.

ප‍්‍රශ්නය – ප‍්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙනවා නේද?

පිළිතුර – ආදරයට එහෙම වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා.
(දිවයින )