Language Switcher

V2025

අපරාධකරුවන්ගේ මොළය පුංචියි !

ජීවිත කාලය පුරා සොරකම් කරන, අනුන්ට හිංසා කරන සහ බොරු කියන අයගේ මොළය ප්‍රමාණයෙන් කුඩා විය හැකි බව පර්යේෂකයෝ පවසති.

කුඩා කල සිට ම සමාජ විරෝධී හැසිරීම් පෙන්නුම් කළ 45 හැවිරිදි පුද්ගලයින්ගේ මොළයේ මතුපිට ප්‍රමාණය අඩු වී ඇති බවත් මොළයේ සමහර කොටස්වල ඇති සිහින් සිවිය එවැනි හැසිරීම්වලට සම්බන්ධ වී ඇති බවත් එම්ආර්අයි ස්කෑන් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය මත්ද්‍රව්‍ය භාවිතය, බුද්ධි මට්ටම අඩු වීම හෝ දුර්වල මානසික සෞඛ්‍යය හේතුවෙන් ඇති වන්නක් ද යන්න පැහැදිලි නැත.

මෙම පර්යේෂණය සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූවන් 700කට ආසන්න පිරිසක් ස්කෑන් පරීක්ෂණවලට ලක් කරන ලදී.

මෙම පිරිස කණ්ඩායම් 3කට බෙදන ලදී:

  1. අඛණ්ඩව සමාජ විරෝධී ක්‍රියාවල නිරත නොවූවන්.
  2. නව යොවුන් වියේදී පමණක් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වූවන්.
  3. ජීවිත කාලය පුරා ම සමාජ විරෝධී ක්‍රියාවල නිරත වූවන්.

ප්‍රචණ්ඩකාරී අපරාධ සිදුකළ පුද්ගලයින් ද ඇතුළත් වූ අවසාන කණ්ඩායමේ 80 දෙනාගේ මොළයේ සැලකිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් ඇති බව පර්යේෂකයෝ සොයා ගත්හ.

Lancet Psychiatry සගරාවේ පළ කෙරුණු මෙම පර්යේෂණ නිබන්ධනයේ දැක්වෙන්නේ, ජීවිත කාලය පුරා ම වැරදි ක්‍රියාවල නිරත වූ පුද්ගලයින්ගේ ස්නායු මනෝවිද්‍යාත්මක වෙනස්කම් ඇති බවට නිගමනය කළ හැකි සාක්ෂි හමුවූ බවය.

ළමා වියේ පටන් ගත් සමාජ විරෝධී හැසිරීම් පෙන්වන නව යොවුන් වියේ පසුවන්නන්, සිරගත වීමේ සහ පසු කාලීන ජීවිතයේ දුර්වල ශාරීරික හා මානසික සෞඛ්‍යය තත්ත්වයකට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින අතර, ඔවුන් "යම් මට්ටමක ආබාධිත තත්ත්වයක" පසුවන බව ද අනාවරණය වී තිබේ.

ඔවුන්ගේ ජීවිත කාලය තුළ යම් මග පෙන්වීමක් කළහොත් ඔවුන් යහපත් මට්ටමකට පත්වනු ඇතැයි ඉන් යෝජනා කෙරේ.

මත්පැන් භාවිතයමෙම පර්යේෂණයේ ප්‍රධාන පර්යේෂකයා වන ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි ආචාර්ය ක්‍රිස්ටිනා කාලිසි පැවසුවේ, "ඔවුන්ගේ මොළයේ ව්‍යුහයේ වෙනස්කම් තිබිය හැකි අතර, ඔවුන්ට සමාජ විරෝධී හැසිරීම්වලින් වැළකීම සදහා වන සමාජ කුසලතා වර්ධනය කර ගැනීම දුෂ්කර වන," බවය.

මෙවැනි පුද්ගලයින් එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ඔවුන්ට සහයෝගය මෙන් ම අනුකම්පාව දැක්වීම ද අවශ්‍ය බව සහය පර්යේෂක මහාචාර්ය එසී වයිඩිං පැවසීය.

බාත් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ග්‍රැහැම් ෆෙයාර්චයිල්ඩ් පැවසුවේ, මෙම පර්යේෂණය විද්‍යාවට "වැදගත් දායකත්වයක්" බවය.එහෙත් මොළයේ ව්‍යුහයේ වෙනස්කම් මුල් අවදියේදී පැවතුණ ද, එය ඍජුව සමාජ විරෝධී හැසිරීම් රටාවන්ට මග පෑදුවේ ද නැතහොත් "මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතය, දුම්පානය සහ දුර්වල ආහාර වැනි ජීවන රටාවේ වෙනස්කම්" නිසා ඇති වූයේ ද යන්න පැහැදිලිව පැවසීමට නොහැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි.බීබීසී වාර්තාකරු ලීසා හැම්පේලේගේ ලිපියක් ඇසුරිනි. 

(බීබීසී)