Image

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්!

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්!

ඒ, එම සැකකරුවන් ඊයේ(25) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

 

අල්ලස් කොමිසමේ නිල නිවේදනයේ සඳහන් වූ කරණූ:

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අල්ලස් කොමිසම නිල නිවේදනයක් නිකුත් කර තිබූ අතර, එම නිවේදනයට අනුව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන්නේ: රුපියල් කෝටි 50 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, පසුව එම මුදල රුපියල් කෝටි 20 ක් දක්වා අඩු කර, එයින් අත්තිකාරම් ලෙස රුපියල් කෝටි 12 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට ය.

ඔවුන් මෙම අල්ලස ලබා ගෙන ඇත්තේ: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා' යන අය ගේ ජීවිතය ආරක්ෂා කර දීම සඳහා, රැඳවුම් නියෝග ඉවත් කර, ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සඳහා සහ විමර්ශන කටයුතුවලින් මෙන් ම ඊට අදාළ කටයුතුවලින් නිදහස් කර දීම සඳහා යැයි එම නිවේදනයෙහි සඳහන් වේ.

සැකකරුවන් 2023 වර්ෂයේ දී ඩුබායි රාජ්‍යයේ දී, ඉහත සැකකරු ගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් මෙම මුදල ඉල්ලා ඇත්තේ යට සදහන් කටයුතු කර දීම වෙනුවෙන් යැයි එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් විය.

ඒ අනුව සැකකරුවන් තිදෙනා ඊයේ (25) පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනුණි.

පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

 

අධිකරණයේදී අනාවරණය වූ කරුණු

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය කියා සිටියේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

2023 වර්ෂයේ නදුන් චින්තක නොහොත් හරක්කටා රැඳවුම් භාරයේ සිටියදී මෙම සැකකාර චරිත අබේසිංහ විසින් හරක්කටාගේ සමීපතමයෙකු වූ නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තාට දුරකථන ඇමතුමක් ලබාදී රැඳවුම් භාරයේ සිටියදී හරක්කටා ඝාතනයට ලක්විය හැකි බවත්, ඔහුව බුස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කළ හැකි බව සහ වෙනත් සහන ලබාදිය හැකි බව පවසා ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයට කියා සිටියේය.

එබැවින් ඒ සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ සමඟ ඩීල් එක දමන ලෙස සැකකාර චරිත අබේසිංහ හර්බි නැමැත්තාට පවසා ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියේය.

අනතුරුව චරිත අබේසිංහ, නීතිඥ රඛිත රාජපක්ෂ සහ අරුණ ශ්‍රී චතුරංග යන මෙම සැකකරුවන් තිදෙනා 2023 මාර්තු 25 දින ඩුබායි රාජ්‍ය බලා ගොස් හර්බි නැමැත්තාගේ නිවසේදී හරක්කටාගේ බිරිඳගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව සහකාර නීති අධ්‍යක්ෂවරිය සඳහන් කළේය.

එහිදී පළමුව ලක්ෂ 5000ක් ඉල්ලා, පසුව එය ලක්ෂ 2000 දක්වා අඩුකර ඉන් ලක්ෂ 1200ක් අත්තිකාරම් මුදල ලෙස ලබාගෙන ඇති බව ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් අල්ලස් මුදල ලබාගැනීමෙන් පසු පොරොන්දු ඉටු නොකිරීම නිසා හරක් කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය යළි සිය මුදල් ඉල්ලා ඇති බවත්, එවිට චරිත අබේසිංහ විසින් මෑතකදී ඝාතනයට ලක්වූ මිදිගම ලසන්ත නැමැත්තා හරහා ලක්ෂ 200ක මුදලක් ආපසු හරක් කටාගේ බිරිඳට යවා ඇති බව විමර්ශනයෙන් අනාවරණය වූ බවද සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසීය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර නදුන් චින්තක හෙවත් හරක් කටා විමර්ශන නිලධාරින්ට ප්‍රකාශයක්ද ලබා දී ඇති බවය.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව දූෂණ විරෝධි පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව සැකකරුවන්ට ඇප ලබාගැනීම වෙනුවෙන් නීතිඥවරුන් සුවිශේෂි කරුණු ඉදිරිපත් කළේය.

එහිදී සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ සිය සේවාදායකයාට ස්ලීප් ඇප්නියා නම් රෝගී තත්ත්වය ඇති බවත් රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔහුට ජීවිත අවධානමක් ඇතිවිය හැකි බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙසය.

එසේම චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා සිය සේවාදායකයාට බරපතළ හෘද රෝගී තත්ත්වයක් පවතින බැවින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හරහා ඔහුගේ ජීවිතයටද අවදානමක් ඇතිවිය හැකි බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සුවිශේෂි කරුණු නොවන බව දක්වමින් ඔවුන්ට මෙම අවස්ථාවේ ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර, සැකකරුවන් තිදෙනා එළඹෙන 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මූලාශ්‍ර - adaderana

.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න