ප්‍රංශ කොරෝනා ඉතිහාසයෙන් පාඩමක් උගනිමු ද ?

ප්‍රංශ කොරෝනා ඉතිහාසයෙන් පාඩමක් උගනිමු ද ?

ප්‍රංශය තුළ කොරෝනා වසංගතය ආරම්භ වී පසුගිය අප්‍රේල් 24 ට හරියටම ගෙවී ගොස් ඇත්තේ මාස තුනකි.

අප්‍රේල් 25 වන විට ප්‍රංශය තුළ සිටින කොරෝනා ආසාදිතයන් ගණන 1, 24, 114 කි. මියගොස් ඇති ගණන 22, 614 කි. මේ වන විට රෝහල්ගතව 28, 222 ක් සිටින අතර, සුව වී රෝහල් වලින් පිටවී ගොස් ඇති ගණන 44, 594 කි.

මෙතරම් ප්‍රමාණයකට මෙම ගණන් හිලව් වර්ධනය වුයේ කෙසේද ? මෙතරම් ජනතාවක් මිය යෑමට නොදී ඔවුන්ව බේරා ගැනීමට නො හැකි වූයේ කුමණ හේතුවක් නිසද ? මෙය සාමාන්‍ය තත්ත්වයක් ද? නැතිනම් දේශපාලන නායකයන් ගත් ප්‍රවේශයන් තුළ තිබූ වැරදිසගත භාවයන් නිසාද?

මේ සියල්ල පිළිබඳව දළ අදහසක් ලබා ගැනීමට හැකිවන පරිදි , වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා සිදු වූ ප්‍රධාන සිද්ධි කිහිපයක් පෙලගැස්වීම මෙම ලිපියෙන් අපේක්ෂා කළ අතර, එය සර්ව සම්පූර්ණ නොවනු ඇතත්, මෙයින් පොදුවේ යමක් තෙරුම් ගැනීමට යමෙකුට හැකි වෙතැයි සිතමි.

චීනයේ හුබෙයි පළාතේ හුවාන් නගරයේ විසූ පුද්ගලයන් පිරිසකට හිටි හැටියේම ශ්වසන රෝගයක් වැලඳුණි. මෙම රෝගයට හේතුව නව කොරෝනා වෛරසය බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළේය. ඒ ජනවාරි 12 වැනිදාය.

ඒ වන විට ප්‍රංශයේ සෞඛ්‍ය ඇමතිවරිය වූ Agnès Buzyn පැවසුවේ කොරෝනා ප්‍රංශයට පැමිණීමේ අවදානම අඩු බවය. නමුත් පැමිණීම බැහැර නො කළ හැකි බවද ඇය පිළිගත්තාය.

ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය කාර්‍යාලයද මේ විශ්ලේෂණය ජන්වාරි 23 දින නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

කෙසේ වෙතත් ප්‍රංශ ගුවන් සේවය වූ එයාර් ප්‍රාන්ස් , චීනයේ වුහාන් වෙත යන ගුවන් ගමන් වහාම අත්හිටුවීය. බීජිං සහ ෂැංහයි වෙත යන ගුවන් වාර ගණනද අඩු කළේය.

මේ වසංගතය ආරම්භ වූයේ ප්‍රංශය තුළ ජාතික විරෝධතා මතුව තිබූ පසුබිමක් තුළය.ජනාධිපති එම්මානුඑල් මැක්‍රොන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටසක් ලෙස යෝජණා කළ විශ්‍රාම වැටුප් ප්‍රතිසංකරණ වලට එරෙහිව රට පුරා ඉතා දැඩි විරෝධතා රැල්ළක් වේගවත්ව පැතිරෙමින් තිබුණි.

නූතන ප්‍රංශ ඉතිහාසයේ දීර්ඝතම වැඩ වර්ජණය මේ කාලය තුළ පැවතුණි.

ජනවාරි 24 වැනිදා , යුරෝපයේ පළමු වැනි කෝවිඩ් -19 ආසාදිතයා ප්‍රංශයේ බොර්දු ( Bordeaux ) නගරයෙන් වාර්තා විය.

48 හැවිරිදි මෙම ප්‍රංශ පුරවැසියා ජනවාරි 22 ප්‍රංශයට පැමිණ ඇත්තේ චීනයේ සිටය.

" කොරෝනා වෛරසය ප්‍රංශය තුළ පැතිරීමේ අවදානම අතිශයින් අඩුයි " යනුවෙන් සෞඛ්‍ය ඇමතිණිය පැවසුව ද, ජනවාරි 27 වන විට කොරෝනා ආසාදිත ප්‍රංශ යුවළක් පැරීසියෙන්frane හමු විය. අවුරුදු 31 ක් සහ 30 ක් වයසැති මෙම යුවළ ද චීනයේ සිට පැරීසියට පැමිණ ඇත්තේ ජනවාරි 18 ය.

හුවෙයි පළාතේ සිට පැමිණ සිටි 80 වියැති චීන ජාතික සංචාරකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ජනවාරි 28 සොයා ගත් අතර, 50 හැවිරිදි ඔහුගේ දියණියටද වෛරසය ආසාදනය වී තිබුණි.

මෙම චීන ජාතිකයා පෙබරවාරි 14 මියගියේය. මෙය ප්‍රංශය තුළ සිදුවූ පළමු කොරෝනා මරණය වූවා සේම , ආසියාවෙන් පිටත සිදු වූ පළමු ආසියාතික මරණය ද මෙය විය.

පැරීසියේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ධනාත්මක වූයේ ජනවාරි 30 වැනිදාය. ඔහුට මෙය ආසාදනය වී තිබුණේ ඔහු ඇසුරු කළ චීන කාන්තාවක් මාර්ගයෙන් බව පසුව හෙළිවිය.

මේ අතර, සහයෝගීතාව සහ සෞඛ්‍ය පිළිබඳ ජනධිපති උපදේශිකා මරී ෆොන්තනෙල් ( Marie Fontanel ) සිය තනතුරින් ඉවත් විය. එළැඹෙන නගර සභා මැතිවරණයට ඉදිරිපත්වී සිටින සිය සැමියාට සහයෝගය ලබාදීම වෙනුවෙන් තමන් මෙසේ ඉල්ලා අස්වූ බව ඇය ප්‍රකාශ කළාය.

ජනවාරි 31 ෂෙන්ගන් කළාපය තුළ පිහිටි සියලුම රටවල්, චීනය සමඟ ඇති වීසා බලපත් අත්හිටුවීමට කටයුතු කළ නමුත් ප්‍රංශය ඊට එක් නොවී දිගටම වීසා බලපත් නිකුත් කිරීමේ කටයුතු සිදු කළේය.

පෙබරවාරි 8 තවත් ආසාදිතයන් පස් දෙනෙකු හදුනාගත් අතර, ඔවුන් ආසාදනයට පත්වී තිබුණේ සිංගප්පූරුවේ පැවැති සමුළුවකට සහභාගී වී පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ගෙණි.

මේ අතර සෞඛ්‍ය ඇමතිවරියද සිය ධූරයෙන් ඉල්ලා අස්විය. එළැඹෙන නගර සභා මැතිවරණයේ දී පැරිස් මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා තරඟ වැදීමට ඉදිරිපත්වී සිටීම ඊට හේතුව විය.

ඇයට අපේක්ෂකත්වය ලැබී තිබුණේ ජනාධිපති මැක්‍රොන් ගේ La Republique En Marche පක්ෂයෙනි.

Olivier Veranඇය වෙනුවට සෞඛ්‍ය ඇමැති ධූරයට පත් වුයේ 39 හැවිරිදි ස්නායු වෛද්‍ය විශේෂඥයෙකු වූ ඔලිවියෙර් වෙරොන් (Olivier Veran ) ය.

ඔහුගේ පත්වීම නිවේදනය කළ දින සිටම ඔහුට විරුද්ධව විපක්ෂයේ කණ්ඩායම් දැඩි විවේචන එල්ළ කළහ.

සමහරුන් ඔහුව හැඳින්වුයේ " සෞඛ්‍ය සමාජ සුරක්ෂිතතාවය සහ විශ්‍රාම වැටුප් සඳහා වන විනාශකාරී අය වැය ලේඛනයේ විශේෂඥයා " ලෙසය.

ප්‍රංශයේ හදිසි සේවා සපයන වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයකුවන ක්‍රිෂ්ටෝෆ් පෘදොම් ( Christope Prudhomme ) පැවසුවේ " සෞඛ්‍ය දේශපාලනයට සම්බන්ධ විය යුතු වුවත්, බොහෝවිට වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරුන් ලෙස විකුණනු ලබනවා " යනුවෙන්ය.

පෙබරවාරි අග වන විට ප්‍රංශයේ Oise, Haut- Savoie , Morbihan යන පළාත් තුණ තුළ වෛරසය පැතිරෙන්නට පටන් ගෙන තිබුණි.

පෙබරවාරි 25 Crépy- en - Valais ප්‍රදෙශයේ දී ප්‍රංශ ගුරුවරයෙකු මිය ගියේය.

පෙබරවාරි 27 සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියෙර් පැවසුවේ , ප්‍රංශ භූමිය තුළ සිටින්නේ කොරෝනා ආසාදිතයන් 38 දෙනෙකු පමණක් බවයි.

මෙ වන විට ප්‍රංශය තුළ පමණක් නොව ප්‍රංශයෙන් පිට පිහිටි ප්‍රංශයට අයත් භූමි ප්‍රදේශ තුළ ද වෛරසය පැතිරෙන්නට පටන් ගෙන තිබුණි.

වෛරසය පැතිරීමට හේතු වූ ප්‍රධාන සිදුවීමක් ලෙස සලකනු ලැබුවේ ,පෙබරවාරි 17 සිට 24 දක්වා දින 8 ක් පුරාවට මුලෝස් (Mulhouse ) හී විවෘත ද්වාර පල්ලියේ පැවැත්වූ වාර්ෂික රැස්වීමය.

මෙම රැස්වීමට විවිධ පළාත් නියෝජනය කරමින් පුද්ගලයන් 2500 ක් පැමිණ සිට ඇති අතර, අවම වශයෙන් ඉන් අඩකටවත් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට විශ්වාස කැරුණි.

ප්‍රංශ ජනාධිපති එම්මනුඑල් මැක්‍රොන් මාර්තු 12 වැනිදා ජාතිය ඇමතු අතර, මාර්තු 16 සිට සියලුම පාසල් සහ විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙන තුරු වසා දමන බව කියා සිටියේය.

ප්‍රංශ අගමැති එදුවා ෆිලීප් ( Edouard Phillippe ) මාර්තු 13 වැනිදා නිවේදනය කළේ පුද්ගලයන් 100 කට වඩා එකට රැස්වීම තහනම් කරන බවය. එහෙත් පොදු ප්‍රවාහන සේවය ගැන ඔහු කිසි තහංචියක් නො පැනවීය.

එසේම මාර්තු 14 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අවන්හල්, ආපනශාලා ,සිනමා ශාලා සහ රත්‍රී සමාජශාලා ඇතුළු අත්‍යාවශ්‍ය නොවන පොදු ස්ථාන වසා දමන බවද අගමැතිවරය නිවේදනය කළේය.

මේ සියලු දේ සිදු වෙද්දී , ජනාධිපතිවරයා නගර සභා මැතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම 15 වැනිදා සිදු කළේය.

මර්තු 16 වැනිදා නිවේදනයක් නිකුත් කළ ජනාධිපතිවරයා පැවසුවේ මාර්තු 17 වැනිදා සිට දින 15 ක් සියල්ල වසා තබන බැවින් ජනතාව නිවෙස් තුළ රැඳි සිටිය යුතු බවය.

මෙම රඳවා තැබීමේ නියෝගය මේ වන විට දෙවරක්ම දීර්ඝ කර තිබෙන අතර, එය අවසන්වීමට නියමිත වන්නේ මැයි 11 වැනිදාය.

මාර්තු 16 දින ජනාධිපතිවරයා සිදු කළ ජාතිය ඇමතිමේ කතාවේ දී ඔහු විශේෂ කරුණක් සඳහන් කළේය.

එනම්, මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කර ඇති සියලුම ප්‍රතිසංස්කරණ අත්හිටුවීමට තමන් තීරණය කළ බවය.

විශේෂයෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය සම්බන්ධ ප්‍රතිසංස්කරණය අත්හිටුවන බවට ඔහු ප්‍රතිඥාවක් දුන්නේය.

කොරෝනා වසංගතය තවමත් නිමාවකට පත්වී නැතත්, මේ වන විට එය පැතිරීමේ වේගය යම් පමණකට පාලනය කර ගැනිමට ප්‍රංශයට හැකි වී තිබෙන බවට ඉඟි මතු වී ඇත.

තීන්දු තීරණ ගැනීමේදී නායකයන් අතින් සිදු වන අඩු පාඩු, මෙන්ම නායකයන් සතුව තිබිය යුතු නම්‍යශීලී භාවයන් පිළිබඳවද මෙයින් ඉගෙන ගත හැකි පාඩම් බොහෝය.

ppසුනිල් ගාමිණී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න