Language Switcher

V2025

''මම යන්නේ විශ්වාසභංගයකින් පැරදුනොත් පමණයි'' - අගමැති

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) රාත්‍රීයේ ජනාධිපතිවරයාට දක්වා ඇත.

ජනාධිපතිවරයා සමඟ ඊයේ (18) ජනාධිපති නිලනිවසෙහි පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර තිබේ.

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම එජාපයේ ස්ථාවරය බවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පක්ෂයට නැතැයිද එම සාකච්ඡාවට සහභාගිවී සිටි මහලේකම් කබීර් හෂීම් මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.

 පනින මන්ත්‍රීවරුන් ගැන පක්ෂ දෙකෙන්ම ඉඟි !

mujiber rahuman

යහපාලන ලැදි ශ්‍රීලනිප මහජන නියෝජිතයන් කීප දෙනකුත් තමන්ට එක්වෙන බව මුජිබර් රහ්මන් මන්ත්‍රීවරයා පවසයි.

 පාර්ලිමේන්තුවේ බහුතර බලය දැනට තමන් සතු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නියෝජනය වෙන යහපාලන ලැදි මහජන නියෝජිතයන් කීප දෙනකුත් තමන්ට එක්වීමත් සමඟ එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව දිගටම පෙරට ගෙන යන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඊයේ (පෙබරවාරි 18) පැවැත්වුන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවකින් අනතුරුව බීබීසියට ප්‍රකාශයක් කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට එම පක්ෂයේ සූදානමක් ඇත්නම් ඔවුන් ඒ සඳහා පාර්ලිමේන්තු බහුතර බලයක් ප්‍රදර්ශනය කළ යුතුව ඇතැයි කියා සිටියේය.

"බහුතරය කියන්නේ මන්ත්‍රීවරුන් 113ක්. පාර්ලිමේන්තුවේ සරල බහුතරය. අපට දැනට මන්ත්‍රීවරුන් 107 ක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකුක් ඉන්නවා - අපිත් එක්ක එකතුවෙලා මේ ගමන පෙරට යන්න කැමති. ඒ පිරිසත් අපට එකතු වුනාම අපට අවශ්‍ය සංඛ්‍යාවටත් වැඩි මන්ත්‍රීවරුන් ගණනක් ඉන්නවා" පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් මහතා පවසයි.

 ශ්‍රීලනිපයට අභියෝගයක් !

 ආණ්ඩුව පෙරට ගෙනයාම අතින් එක්සත් ජාතික පක්ෂයට ගැට‍ළුවක් නොමැති අතර, පවතින ආණ්ඩුව බිඳ දැමීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීප දෙනකුගේ උවමනාවක් පමණක් වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේ එම පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු නමින් සඳහන් කරමිනි.

" ඒ ගොල්ලන්ට ආණ්ඩුව අල්ලන්න අවශ්‍ය කරලා තියෙනවා. ඉතින් ආණ්ඩුව අල්ලන්න අවශ්‍යනම් ඔවුන් පාර්ලිමේන්තු බහුතරය පෙන්වන්න ඕන. අඩු තරමින් එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන 107 ට වඩා තමන්ට මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් තියෙන බව පෙන්නුම් කරන්න පුළුවන් නම් මෙතැන ගැට‍ළුවක් නැහැ" මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන අභියෝගයක ස්වරූපයෙනි.

බහුතර පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා හැටියට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ දිගටම අගමැති පදවියේ රැඳී සිටින බව සඳහන් කළ මුජිබර් රහ්මන් මන්ත්‍රීවරයා, සිය පක්ෂය තුළ ඒ සම්බන්ධයෙන් විකල්ප තෝරා ගැනීමක් නොමැති බවත් සඳහන් කරයි.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් තම පක්ෂයේ සෙසු ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීම ප්‍රකාශයට පත් කෙරෙන ලිපියකට පසුගියදා අත්සන් එකතු කළා. ඒ ලිපියට සියලු ශ්‍රීලනිප ඇමතිවරුන් අත්සන් කරලා නැහැ" ඔහු පෙන්වා දෙයි.

"එවැනි තත්වයක් යටතේ පුළුවන් නම් විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ජය ගන්නා ලෙස අභියෝග කරනවා" ඔහු කියා සිටියේය.

 දෙමළ ජාතික සන්ධානය:

අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය සහතික කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කර ඇද්දැයි බීබීසිය විමසූ විට ඊට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා "එවැනි සාකච්ඡාවක් තවමත් සිදුකර නැති" බව සඳහන් කළේය.

අද පැවැත්වුන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවට නොපැමිණි මන්ත්‍රීවරුන් කෙරෙහි මාධ්‍ය අවධානය යොමු වී තිබුණ අතර ඒ ගැන විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් මුජිබර් රහ්මන් මන්ත්‍රීවරයා "ඇතැම් මන්ත්‍රීවරුන්ට කලින් යොදා ගත් වැඩසටහන් නිසා එම අවස්ථාවට එක්වීමට නොහැකි බව" ඔවුන් මහලේකම්වරයාට දැනුම් දී තිබීමට ඉඩකඩ ඇතැයි කියා සිටියේය.

 ශ්‍රීලනිප ප්‍රතිචාරය:

 ඒකාබද්ධ විපක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයෙන් තමන්ට එකතු වෙන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද සමඟ අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ශක්තිය ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති සහ කම්කරු ඇමති ඩබ්ලිව් .ඩී.ජේ .සෙනෙවිරත්න මහතා මේ අතර පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්ෂයේ මුජිබර් රහ්මන් මන්ත්‍රීවරයා කරන අභියෝගය සම්බන්ධයෙන් ශ්‍රීලනිප ප්‍රතිචාරය පිළිබඳව බීබීසිය විමසීමක් කළ විට ඊට පිළිතුරු දෙමිනි.

පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අලුත් වාතාවරණයක් නිර්මාණය වූ බව සඳහන් කළ ඇමතිවරයා, එම තත්වය යටතේ අගමැති පදවියේ වෙනසක් සිදු කරමින් නව අගමැතිවරයකු සහ නව ඇමති මණ්ඩලයක් පත් කිරීමට 19 ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට බලය හිමිවෙන බව පවසයි.

 jhon s 670 එජාපයෙන් කොටසක් අපට එනවා -ඩබ්ලිව්.ඩී. ජේ.

"අලුත් ආණ්ඩුව පිහිටුවන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ද සහයෝගය ඇතුව. එක්සත් ජාතික පක්ෂයේ කොටසකුත් එකතු වුනාම අපට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය ලැබෙනවා" ඇමතිවරයා පවසයි.

එහෙත් ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කෙරෙන ලිපියට එම පක්ෂය නියෝජනය කරන සියලු ඇමතිවරුන් පවා අත්සන් තබා නැති බවට එක්සත් ජාතික පක්ෂයේ මුජිබර් රහ්මන් මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය පිළිබඳව විමසූ විට ඇමතිවරයාගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි.

"ඔය වගේ ලියුම්වලට සියලු දෙනාම අත්සන් නොකිරීම සාමාන්‍ය දෙයක්! දැන් බලන්න! ප්‍රේමදාස ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් සඳහා අත්සන් ගන්න කොට සියලු දෙනාම අත්සන් කළේ නැහැනේ. කොහොම වුනත් අපට පාර්ලිමේන්තු බහුතරය ලබා ගන්න පුළුවන්"

යම් හෙයකින් එසේ අලුතින් පත් කෙරෙන අගමැති ප්‍රමුඛ ආණ්ඩුවකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුනොත් එම අලුතින් පිහිටුවනු ලබන ආණ්ඩුව ඉක්මනින් කඩා වැටෙන සුළු අස්ථාවර දේශපාලන වාතාවරණයක් තිබෙනවා නොවේදැයි බීබීසිය ප්‍රශ්නයක් යොමු කළ විට ඊට පිළිතුරු දුන් ඇමතිවරයා "එසේ පිහිටුවනු ලබන ආණ්ඩුව ස්ථාවර කර ගත යුතුව ඇතැයි" කියා සිටියේය.