Language Switcher

V2025

දැනට දිගටම ආණ්ඩුවේ ඉන්න : අකමැති අය පස්සෙ අයින්වෙන්න - ශ්‍රීලනිප හමුවේදී ජනාධිපති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අද (19) පැවති විශේෂ සාකච්ඡාව මේ වන විට අවසන්ව තිබෙන අතර ඒ පිළිබඳ මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කර සිටියේ තම පාර්ශවයේ කිසිවෙකු කිසිඳු පාර්ශවයකට සම්බන්ධ නොවී අඛණ්ඩව කටයුතු කරන බවය.
 
එසේම ආණ්ඩුව තුළ ප්‍රබල වෙනසක් විය යුතු බවට තම පාර්ශවය තීන්දු කළ බවත්, අදාළ වෙනස්කම් නීත්‍යානුකූලව කිරීමට ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
 
එජාප ප්‍රතිචාරය යහපත් නෑ
 
එසේම ආණ්ඩුව පවත්වාගෙන යාම වෙනුවෙන් තමන් අනෙක් පාර්ශවයෙන් කරනු ලැබූ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
 
ජනාධිපතිගේ ස්ථාවරය
 
මේ අතර ශ්‍රීලනිප අමාත්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රාජපක්ෂවරුන් සමඟ හවුලේ ආණ්ඩු කිරීමට තමන්ට කොහෙත්ම අදහසක් නොමැති බවය. එසේම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ඇතැමුන්ගේ සමහර ක්‍රියා තමන්ද අනුමත නොකරන බවත් ඒ පිළිබඳ ඉදිරියේදී අවශ්‍ය ලෙස මැදිහත්වීම් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
 
දුමින්ද ඇත්තම කියයි
 
ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමෙන් පසුව ශ්‍රීලනිප පාර්ශවයේ අමාත්‍යවරුන්ට තම තමන්ගේ අදහස් දැක්වීමට අවස්ථාව ලබාදී ඇති අතර එහිදී අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කර ඇත්තේ මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත්වීම පොහොට්ටුවේ ජයග්‍රහණයක් ලෙස අර්ථ ගැන්වෙනවා මිස අන් කිසිවක් සිදුනොවන බවය.
 
එසේම මේ අවස්ථාවේ නිවැරදි  තීන්දුවක් ගත්තා වන්නේ ඒ හරහා ජනාධිපතිවරයා ජයග්‍රාහකයෙකු බවට පත්වන්නේ නම් පමණක් බවත් ඒ හැර අනෙක් පරාජිත තීන්දු ගැනීමට එකඟවිය නොහැකි බවද දුමින්ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
 
කෙසේ වුවත් මේ සම්බන්ධව විවිධ මත ශ්‍රීලනිප අමාත්‍යවරුන් අතරින් මතුව ඇති බවත් එයින් පිරිසක් දැඩි අවධාරණයකින් යුතුව ආණ්ඩුවට එක්විය නොහැකි බව සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.
 
කෙසේ වුවත් අවසානයේ ජනාධිපතිවරයා සිය ස්ථාවරත්වය දක්වමින් සඳහන් කර ඇත්තේ තවත් මාස කිහිපයක් මේ ආකාරයට යහපාලන සම්මුති ආණ්ඩුව පවත්වාගෙන යා යුතු බවත් කැබිනට් සංශෝධන සහ ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග හමුවේ තවදුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකි බවට විශ්වාස කරන අයෙකු වේනම් ඒ ඕනෑම අයෙකුට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනවීමේ අයිතියට තමන් ගරු කරන බවය.
 
  බොරු රංගනයක් : ශ‍්‍රිලනිප මන්ත‍්‍රී පිරිසක් විපක්‍ෂයට - වාසුදේව
 
මේ අතර අද (19) පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසා සිටින්නේ මෛත‍්‍රිපාල සිරිසේන ජනපති හා රනිල් වික‍්‍රමසිංහ අගමැති සමග එජාප-ශ‍්‍රීලනිප දීගය ඉදිරියටත් ක‍්‍රියාත්මක වනු ඇති බවත් පසුගිය දිනවල ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් පෙන්වන ලද්දේ බොරු රගපෑමක් පමණක් වන බවත්ය.
 
කෙසේ වුවත් ශ‍්‍රීලනිප සභාපති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දුර්වලකම හේතුවෙන් ඉදිරියේදී ශ‍්‍රිලනිප මන්ත‍්‍රී පිරිසක් විපක්‍ෂයට එක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.
 
අගමැති රනිල් විතරමයි : එන ඕන දෙයකට සූදානම් - එජාප 
 
 
එසේම මේ පිළිබඳ එජාප පාර්ශවය වෙතින් අදහස් විමසීමේදී තම පක්ෂය එන ඕනෑම අභියෝගයකට සුදානමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට නම් නිශ්චිතව එහි අග්‍රාමාත්‍යවරයා වන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බව තම පාර්ශවය ශ්‍රීලනිප පාර්ශවයට දැනුම්දී ඇති බවය.
 
එසේම කිසිඳු හේතුවක් මත තම අදහසේ වෙනසක් සිදුනොවන බවද එජාප ය වෙනුවෙන් අප වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසීය.
 
පිල් මාරු නොවුණොත් පුදුමයි - ජවිපෙ
 
මේ අතර මතුව ඇති දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කර සිටින්නේ අද (19) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයෙන් පසුව හොඳ හොඳ සෙල්ලම් බලාගැනීමට හැකිවනු ඇති බවය.
 
එසේම 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ පෙර අන්තර්ගත කර තිබු, යම් පක්ෂයකින් ජනවරමක් ගෙන පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව අදාළ ජනවරමට පිටුපෑවහොත් එම මන්ත්‍රීධුරය අහෝසි කිරීමේ වගන්තිය ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ඉවත් කල බවත් එවැන්නක් සිදුනොවුනා නම් මේ ආකාරයට රට තුළ අරාජිකත්වයක් මතු නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය