Language Switcher

V2025

අතුරුදහන් වූවන්ගේ පවුල් සාමාජිකයන්ට : 5000 දීමනාව නෑ !

කෝවිඩ් 19 වසංගත පීඩාව හමුවේ රජය විසින් බෙදනු ලබන රුපියල් 5000 දීමනාව, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමට මාසයකට වැඩි කලක් ගතවීත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපතිවරයා පවසයි.

OMP කාර්යාලයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එසේ ප්‍රකාශ කළේ පවතින ව්‍යසනකාරී වතාවරණය හමුවේ ආර්ථික ගැටලුවලට මැදිව සිටින අතුරුදහන් වූවන්ගේ පවුල්වල සමාජිකයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කවර නම් ක්‍රියා මාර්ගයන් ගනු ලැබුවේ දැයි 'ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ' (JDS - Journalists for Democracy in Sri Lanka ) විසින් කරන ලද විමසීමකට පිළිතුරු ලෙස ය.

රජයේ ප්‍රතිචාරය ගැන කණගාටුයි

අගමැති මහින්ද රාජපක්ෂ වෙත පසුගිය අප්‍රේල් 7 වන දින ලිපියක් යොමු කරන OMP කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එමගින් ඉල්ලා ඇත්තේ රජය විසින් අඩු ආදායම් ලාභීන් වෙත ලබා දීමට සැලැසුම් කොට ඇතැයි ප්‍රකාශයට පත් කොට තිබෙන සහනාධාර අතුරුදහන් වූවන්ගේ පවුල්වල සමාජිකයන් වෙත ද ලබා දීමට කටයුතු කරන ලෙස ය.

Saliya Peirisනමුත් රජය, අතුරුදහන් වුවන්ගේ පවුල් වෙත ආර්ථික හෝ වෙන යම් හෝ සහනාධාරයක් ලබා දෙන බවට කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි පවසන සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සිය කාර්යාලය විසින් රජයේ බලධාරින් වෙත යවන ලද ලිපිය ලැබුණු බවක් හෝ සඳහන් කොට මේ දක්වා පිළිතුරු ලිපියක් හෝ නොඑවීම කණගාටුවට කරුණක් බව ය.

"හරිම කණගාටුයි මෙහෙම සිද්ධ වෙන එක ගැන. අපිට නිල වශයෙන් තවමත් දැන ගන්නට නෑ එහෙම සහනාධාර ලැබෙන බවක්. අඩුම තරමින් අපේ කාර්යාලය යවපු ලිපියටවත් තවම පිළිතුරක් ලැබිලා නෑ. දැන් මාසයකට වැඩියි ඒ ලිපිය යවලා". අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලීය පීරිස් පැවසීය.

පවතින වසංගත තත්ත්වය හමුවේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට ගොදුරුව ඇති බවට විශ්වාසය පලකරන සභාපතිවරයා, ඔහුගේ ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ එම පවුල්වල සාමාජිකයන් සීමිත යැපුම් මාර්ගයන් ද අහිමිව දිවිගෙවන බව ය.

කෙටි කාලීන විසඳුම් ලෙස අතුරුදහන් වූවන්ගේ පවුල් වෙත වියලි ආහාර ලබා දීමට කටයුතු කිරීම සුදුසු බවට තමන් විසින් නිර්දේශ කරන්නේ යැයි අදාළ ලිපියෙහි දක්වා ඇති සභාපති සාලිය පිරීස් ඒ හා සමගම පෙන්වා දී තිබෙන්නේ අතුරුදහන් වුවන්ගේ පවුල්වල තොරුතුරු ග්‍රාම නිලධාරීන් සතුවන බැවින් ඔවුන් මගින් පහසුවෙන් එම කාර්යය සිදුකළ හැකි බව ය.

ආධාර කතා බොරු:

කෙසේ වෙතත්, JDS විසින් කරන ලද විමසීමකදී හෙළි වුනේ අතුරුදහන් වු අයගේ පවුල්වල සාමාජිකයන් දහස් ගණනින් සිටින උතුරේ කිසිදු ග්‍රාම නිලධාරියකුගෙන් හෝ ප්‍රාදේශීය බලධාරීන්ගෙන් හෝ රජය ඒ සම්බන්ධ කිසිදු තොරතුරක් රැස් කරගෙන නැති බව ය.

විශේෂිත ආර්ථික අපහසුතා ඇති පාර්ශවයක් ලෙස සලකා ඔවුන් වෙත ආර්ථික හෝ වෙනයම් සහනාධාරයක් ලබා දී තිබේ දැයි JDS  විසින් එම පවුල් වෙතින් කරන ලද විමසීමකදි උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරි සාමාජිකාවක් පවසා සිටියේ රජය විසින් මේ තාක් කිසිදු ආධාරයක් ලබා දී නොමැති බව ය.

"ආණ්ඩුව, අතුරුදහන් වු අයගේ පවුල්වලට කිසිම මුදලක් තාම දීලා නෑ. වියලි ආහාර දීලත් නෑ. එහෙම දීලා තියෙනවා කියනවා නම් ඒක බොරුවක්. අනෙක ඔය කාර්යාලයේ කවුරුත් අපෙන් එහෙම තොරතුරු අරගෙනත් නෑ. අපිට එහෙම ලියුමක් ගැන දැනුම් දීලත් නෑ," යි නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ඇය ආවේගාත්මකව පැවසුවාය.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් කිහිප දෙනකු වෙතින් කරන ලද විමසීමකදි ඔවුන් සියළු දෙනා JDS  හා පවසා සිටියේ රජය හෝ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය හෝ මේ දක්වා නිල වශයෙන් තමන් වෙතින් කිසිදු විමසීමක් හෝ ආධාර මුදල් ලබා දීමක් පිළිබඳව දැනුම් දීමක් හෝ සිදුකර නොමැති බව ය.

(කිත්සිරි විජේසිංහ විසිනි : උපුටා ගැනීම jdslanka.org )

[ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.]