Language Switcher

V2025

අධ්‍යාපන සුදු අලි : ඩලස්ගේ කටින් එළියට පනියි !

අවම පහසුකම්වත් නැති පාසල් පවතින බවට ඇමතිවරයා කළ ප‍්‍රකාශයෙන් තහවුරු වන්නේ මිලියන ගණන මුදල් වැය කළ ව්‍යාපෘති හුදු දේශපාලන ප‍්‍රචාරක ව්‍යාපෘති වී ඇති බව යන්න ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
 
නිවේදනයක් නිකුත්කරමින් ලංකා ගුරු සංගමය මේ බව සඳහන් කරයි.

ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් 2020.05.14 බස්නාහිර පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබූ  පහසුකම් නැති පාසල් 582 ක් ද, සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් 800 කට වැඩි ප‍්‍රමාණයක් ද පවතින බවත්, ලක්ෂ 43 ක් වන පාසල් ළමුන්ගෙන් ලක්ෂ 12 කට මන්දපෝෂණය බවත් යන ප්‍රකාශය කෙරෙහි මෙහිදී ලංකා ගුරු සංගමයේ  අවධානය යොමු වී ඇත.
 
ඒ අනුව නිකුත් කර ඇති නිවේදනයේ  වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ද අමාත්‍ය ධූරයක් දරමින් සිටි 2010 සිට 2015 දක්වා පැවති රජයේ ප‍්‍රධානතම ව්‍යාපෘතියක් වූයේ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ යටතේ කි‍්‍රයාත්මක වූ ප‍්‍රාථමික පාසල් 5000 හා ද්විතීයික පාසල් 1000 ක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනයි. එම රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ 2012 වසරේ කාර්ය සාධන වාර්තාවට අනුව පාසල් සංවර්ධනය සඳහා එක් පාසලකට රුපියල් ලක්ෂ 5 බැගින් ව්‍යාපෘති 6483 සඳහා ප‍්‍රතිපාදන ලබා දී ඇති අතර, ඉන් 7% ක් සනීපාරක්ෂක පහසුකම් සඳහා ද, 8% ක් ජල පහසුකම් සඳහා ද ලබා දී තිබුණි. එම රජය යටතේ අධ්‍යාපනය සම්බන්යෙන් වූ ප‍්‍රධානතම ප‍්‍රචාරක ව්‍යාපෘතිය වූයේ ‘හොඳම දේ දැයේ දරුවන්ටයි’ යන තේමාව යටතේ කි‍්‍රයාත්මක වූ එම ව්‍යාපෘතියයි. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ද මේ සඳහා මිලියන ගණනින් ප‍්‍රතිපාදන වෙන් කර තිබුණි.

2015 සිට 2019 දක්වා කි‍්‍රයාත්මක වූ පසුගිය රජය යටතේ කි‍්‍රයාත්මක කරන ලද ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ දිවයිනේ සියලූම පාසල්වල ජල හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3723 ක් ද, වැසිකිලි පහසුකම් සංවර්ධන කිරීම සඳහා රුපියල් මිලියන 276 ක් ද වෙන් කර තිබූ අතර ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉතිහාසයේ  ප‍්‍රථම වරට පාසල් 9500 ක් එකවර සියලූ පහසුකම් සහිතව සංවර්ධන කිරීමට පියවර ගනු  ලැබූ බව එම රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිරන්තරයෙන් ප‍්‍රකාශ කරන ලදී.

මේ ආකාරයෙන් පැවති සෑම රජයක් යටතේම පාසල් සංවර්ධනයට මිලියන ගණනින් මුදල් යොදවා තිබියදී වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ම ප‍්‍රකාශ කරන ආකාරයට අවම පහසුකම්වත් නොමැති පාසල් අති විශාල ප‍්‍රමාණයක් ලංකාවේ පාසල් පද්ධතිය තුළ පවතින්නේ සෑම රජයක් යටතේම පාසල් සංවර්ධනය දේශපාලන ප‍්‍රචාරක ව්‍යාපෘති ලෙස භාවිතා කිරීම හේතුවෙනි.

එසේම සෑම රජයක් යටතේම විවිධ ව්‍යාපෘති ඔස්සේ කුඩා පාසල් වසා දැමීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කරන බව ලංකා ගුරු සංගමය හැමවිටම පෙන්වා දුන් කරුණකි. වත්මන් රජය බලයට පත් වූ විගසම ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළ වත්මන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම උක්ත රැස්වීමේදී පෙන්වා දෙන්නේ සමස්ත පාසල් 10167 න් සිසුන් 200 ට අඩු පාසල් 5143 ක් පවතින බවයි. වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා පත් වූ විගසම ලංකා ගුරු සංගමය ඔහු සමග පැවති සාකච්ඡුාවකදී පෙන්වා දුන්නේ සිසුන් 100 ට අඩු පාසල් තුන්දහස සංවර්ධනය කිරීමේ නිසි වැඩපිළිවෙලක් සැකසිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක වී නොමැති අතර, ළමුන් 200 ට අඩු පාසල් 5143 ක් පවතින බව ප‍්‍රකාශ කරන අධ්‍යාපන අමාත්‍යවරයාම ජාතික පාසල් ප‍්‍රමාණය වැඩි කිරීමට දරණ උත්සාහයෙන් පැහැදිලි වන්නේ සිසුන් 100 ට අඩු පාසල් වැසී යාමේ කි‍්‍රයාවලිය තවදුරටත් ඉදිරියට යන බවයි.  

අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණේ ලක්ෂ 43 ක් වන පාසල් දරුවන්ගෙන් ලක්ෂ 12 කට මන්දපෝෂණය පවතින බවයි. මේ වන විට දිවා ආහාර වැඩසටහන් කි‍්‍රයාත්මක වන පාසල් 7000 ක් පැවතියදී පාසල් දරුවන් ලක්ෂ 12 ක් මන්දපෝෂණයෙන් පෙළීම තුළ මෙම ව්‍යාපෘතියේ තත්වය මැනවින් දිස් වේ. ලෝක ආහාර වැඩසටහන යටතේ ද පසුගිය දිනක රුපියල් මිලියන 80 ක් පාසල් දරුවන්ගේ දිවා ආහාර සඳහා ලබා දී තිබූ ලෙසම මීට ඉහත දී ද විවිධ ප‍්‍රදානයන් ලැබී තිබුණි.

පාසල් දරුවන්ගේ පෝෂණය, ජල හා සනීපාරක්ෂණ පහසුකම් සඳහා රුපියල් මිලියන ගණනින් මුදල් වෙන්කර තිබියදී එම ප‍්‍රතිලාභ පාසල් හරහා දරුවන් වෙත ළඟා නොවීමෙන් පැහැදිලි වන්නේ අදාළ ව්‍යාපෘති හුදු දේශපාලන ප‍්‍රචාරක ව්‍යාපෘති ලෙස කි‍්‍රයාත්මක වූ බවයි. අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් වෙන් කරන ලෙස අප නිරන්තරයෙන් අරගල කළ ද, සෑම රජයක්ම අධ්‍යාපනය සඳහා 2% ක ටත් අඩු සොච්චම් මුදලක් වෙන් කරමින් එම මුදල ද නිසි ආකාරයෙන් භාවිතා නොකොට පාසල් දරුවන්ගේ අවශ්‍යතා ප‍්‍රචාරක මෙවලමක් ලෙස භාවිතා කර ඇති බව පවතින භෞතික තත්වය තුළ පැහැදිලි වේ. මෙම තත්වය තුළ සෑබෑ සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා සියලූ පාර්ශව ඒකාබද්ධව තම ක‍්‍රියාමාර්ග තීව‍්‍ර කළ යුතු බව අමාත්‍යවරයාගේ ඉහත ප‍්‍රකාශය තවදුරටත් තහවුරු කරයි.
 
මෙයට,
 
ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්