Language Switcher

V2025

ගුවන් තොටුපළ හරහා කොවිඩ් එන්නේ : වෘත්තීයවේදීන්ගේ උපදෙස් නොතැකීමෙන් : සාක්ෂි මෙන්න !

මේ වන විට විදේශයන්වල සිට පැමිණි ලාංකිකයන් අතරින් කොවිඩ් 19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමට හේතුව ඒ සම්බන්ධව මෙරට වෘත්තීයවේදීන් සිදුකළ අනතුරු ඇඟවීම් නොතකා හැරීම බව අනාවරණය වෙයි.
ඒ බව අනාවරණය වන්නේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විත්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති ලිපියක් හරහාය.
 
එසේම තවදුරටත් එම තත්ත්වය ඇතිවීම වැලැක්වීමට අවශ්‍ය යෝජනාද අදාළ ලිපියේ සඳහන් අතර එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය 
කොළඹ 01 
 
ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් රටට ඇතුළු වන පුද්ගලයන් කෝවිඩ්19 සඳහා පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණය නොසළකා හැරීමෙන් ඇති විය හැකි ගැටළු පිළිබඳව කඩිනම් අවධානය යොමු කිරීම !
 
දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකීය පුරවැසියන්ගේ බදු මුදල් මඟින් නඩත්තු වන නිදහස් සෞඛ්‍ය සේවාවේ සම්පූර්ණ ප්‍රතිලාභය රටේ සියළු පුරවැසියන්ට සමානව ලබා දීම උදෙසා, නිශ්චිත පුරෝකථනයන්ට ගැළපෙන පරිදි අදාල සේවාවන් කල්තබා සූදානම් කර තැබීම සෞඛ්‍ය පරිපාලනයේ හා කළමනාකරනයේ වගකීමකි. 
 
ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් රටට ඇතුළු වන පුද්ගලයන් එම පරිශ්‍රය තුලදීම පරීක්ෂා කිරීම සඳහා විධිමත් රසායනාගාර පහසුකම් පූර්ව වශයෙන් සූදානම් කර තැබිම සහ එහි වැදගත්කම පිළිබඳව අප වෘත්තීයවේදී ආයතනය අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පෙන්වා දෙන ලදී. 
 
ඒ පිළිබඳව ඔබ වෙත යොමු කරන ලද මගේ අංක SLAGMLT /Gen/2020 (19) හා SLAGMLT /Gen/2020 (20) දරණ 2020.04.19 දිනැති ලිපි මඟින්ද ඊට අදාල ක්‍රමවේදයන් සහ රටතුල කෝවිඩ්19 වසංගත පාලනය සඳහා එහි ඇති අවශ්‍යතාවය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දී ඇත. එසේම එම කාර්ය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පළ කළ අප වෘත්තිකයන්ගේ නාම ලේඛණයක්ද තාක්ෂණික උපක්‍රම පිළිබඳව වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදී ආයතනය විසින් යොමු කරන ලද අංක CMLSSL /COVID19 /2020(04) දරණ 2020.03.31 දිනැති හා අංක CMLSSL /COVID19 /2020(2) දරණ 2020.03.20 දිනැති ලිපි මඟින්ද පූර්ව අවධානයට යොමු කර ඇත. 
 
කෙසේ නමුත් කෝව්ඩ්19 පාලනය සඳහා රසායනාගාර සේවාව විධිමත් කිරීම පූර්ව වශයෙන් ලබා දුන් අනෙකුත් බොහෝ යෝජනා මෙන්ම මෙම යෝජනාවද ප්‍රමාද වී ක්‍රියාත්මක කරන ස්වාභාවයක් අප නිරීක්ෂණය කරන අතර ඒ හේතුවෙන් මතුවී ඇති පහත ගැටළු පිළිබඳව ඔබගේ අවධානය නැවත යොමු කරවමි. 
 
1. කෝවිඩ්19 ලෝක වසංගත තත්වය හමුවේ ආසාදිත පුද්ගලයන් එක් රටක සිට තවත් රටකට යොමු නොකල යුතු බවත් රෝගය ආසාධිත වූ රට තුලම අදාල පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදී සුවපත් කිරීම ඒ ඒ රට වල වගකීමක් ලෙසට පැහැදිලි රීතියක් පවතී. එසේ වුවද මේ වන විට ආසාධිතයන් විශාල වශයෙන් රට තුලට පැමිණෙන බවට සෞඛ්‍ය අංශ විසින් සිදු කරන චෝදනාව විවාදාත්මක තත්වයකට පත්ව ඇත. නමුත් හඳුනා ගනු ලබන අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන තුලදී හෝ රට අභ්‍යන්තරයේ වන වෙනත් ස්ථානයකදී ආසාදනය වූ පුද්ගලයන් බවට නැඟෙන ප්‍රතිචෝදනාව බැහැර කිරීමට නොහැකිව ඇත්තේ ගුවන් තොටුපල පරිශ්‍රයේදී ආගමණිකයින් නිසි පරිදි රසායනාගාර පරීක්ෂණයකට ලක් නොකිරීම හේතුවෙනි. 
 
2. රට නැවත විවෘත කිරීමට පෙර ගුවන් තොටුපල පරිශ්‍රය තුල රසායනාගාර පහසුකම් සූදානම් කර තැබීම සඳහා විශාල හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පැවතියදී ඒ පිළිබඳව පූර්ව වශයෙන් සිදු කරන ලද යෝජනාද නොසළකා හරිමින් ගැටළුකාරී තත්වයන් ඇතිවූ පසුව ඒ පිළිබඳ ක්ෂණික පිළියම් සෙවීමේ සෞඛ්‍ය අමාත්‍යාංශ පිළිවෙත හේතුවෙන් කෝවිඩ් වසංගත මර්ධන වැඩසටහනට වරින් වර ඇති වන බාධාවන් පිළිබඳව අවධානය යොමු කරමින් ගුවන් තොටපළ පරිශ්‍රයේ වෛද්‍ය රසායනාගාරයක් කඩිනමින් නිර්මාණය කිරීම සඳහා ඔබගේ සෘජු මැදිහත් වීම ලබා දීම. 
 
3. ගුවන් තොටුපල පරිශ්‍රය තුල නිර්මාණය කරන රසායනාගාරයක් මඟින් සියළු ආගමණිකයන් RT-PCR පරීක්ෂාවට ලක් කිරීම කළ හැකි වුවද එය අනවශ්‍ය වියදම් සහිත හා වෛද්‍ය රසායනාගාර මූලධර්ම වලට අදාලව ප්‍රායෝගික නොවන මතයක් තුල එල්බ ගැනීමකි. එබැවින් RT-PCR පරීක්ෂණ පහසුකමද සහිතව ජීව රසායන වෛද්‍ය රසායනාගාර ක්‍රමවේදයන්ද භාවිත කරමින් සිදු කරන සමෝදානික රසායනාගාර ක්‍රමවේද මඟින් ආගමණිකයන් සඳහා පැයක පමණ කාලයකදී රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් නිකුත් කල හැකි වන පරිදි මෙම රසායනාගාර සේවාව නිර්මාණය කළ හැකි බැවින් ඒ සඳහා නිවැරදි තාක්ෂණික දැනුම සහිත වෘත්තීය දායකත්වය ලබා ගත යුතු වීම.
උක්ත කරුණු පිළිබඳව ඔබගේ කඩිනම් මැදිහත් වීම අපේක්ෂා කරන අතර රසායනාගාර සේවාවේ ඒකාධිකාරී තීරණ ගැනීමේ ක්‍රමවේදය මඟින් වරින් වර සිදු කර ගන්නා කළමනාකරන අත්වැරදීම් පිළිබඳව වඩා වැඩි අවධානයක් අපේක්ෂා කරමි. කොරෝනා වසංගත තත්වය ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව තුල හොඳින් පාලනය කිරීමට අවශ්‍ය පූර්ණ කැපවීම සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය විසින් ලබා දෙමින් තිබියදී, එය හේතුවක් කර ගනිමින් කළමනාකරන අත්වැරදී සිදුකිරීම සඳහා අනවශ්‍ය ඉඩකඩක් නිර්මාණය නොකල යුතු බව ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමි. 
 
ස්තුතිය
මෙයට, විශ්වාසී
 
 
රවී කුමුදේශ් 
සභාපති 
වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විත්වත් ආයතනය