Language Switcher

V2025

ඌවතැන්නේ සුමන හිමි දිවි ඇතිතෙක් හිරේ : ජම්පරයත් අන්දවයි !

වසර 2010 වසරේ දී තම විහාරස්ථානය තුළ නීති විරෝධි අන්දමින් ටී 56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ වරදට කොළඹ මහාධිකරණය පෙරේදා(ජුනි 01) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ ඌවතැන්නේ සුමන හිමියන් එදින ම වැලිකඩ බන්ධනාගාරයේ දී තම සිවුරු ඉවත් කර සිරකරුවන්ට නියම වූ ජම්පරය ඇඳ ඇත.

පෙරේදා(1) කොළඹ මහාධිකරණය මඟින් ලබාදුන් අධිකරණ තීන්දුවෙන් පසු පස්වරු 4ට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත සුමන හිමියන් රැගෙන විත් ඇති අතර එහි දී එම බන්ධනාගාර නිලධාරීන් රැඳවියන්ට ලබා දෙන සුපුරුදු ජම්පරය සුමන හිමියන්ට ද ලබා දී තිබේ.

තමන් සිල්වත් භික්ෂුවක් බවත්, ඒ නිසා සිවුර ඉවත් කිරීම සිදු කළ නොහැකි බවත් සුමන හිමියන් බන්ධනාගාර නිලධාරීන් හට තරයේ ම පවසා ඇත.

මෙහිදී වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා එහි පැමිණි සුමන හිමියන්ට පෙන්වා දී ඇත්තේ අධිකරණයක් මඟින් දඬුවම් නියම කිරීමෙන් පසු බන්ධනාගාර වෙත පැමිණෙන කුමන ආගමක, තරාතිරමක පුද්ගලයකු වූවද එදින පටන් බන්ධනාගාර රැඳවියකු වන බැවින් සිරකරුවකුට බන්ධනාගාරයේ දී අදාළ වන ඇඳුම, නීති-රීති, කාලසටහන් උන්වහන්සේට ද අදාළ වන බවයි.

දීර්ඝ කරුණු පැහැදිලි කිරීමකින් පසු සුමන හිමියන් ජම්පරය ඇඳ ඇති අතර, මේ වන විට උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති නිරෝධායන සිරමැදිරිය වෙත යොමු කර තිබේ.

අවු. 5ට වඩා වැඩි සිරදඬුවමක් නියම වී බන්ධනාගාර වෙත අලුතින් එන රැඳවියන් නිරෝධායනය පිණිස වැලිකඩ බන්ධනාගාරයේ මෙම සිරමැදිරිය වෙත යොමු කරයි.

2005 දී මහින්ද ජනාධිපති කරන්න කැපවූ හිමිනමක් !

මෙසේ ජම්පර් අන්දවනු ලැබූ ඌවතැන්නේ සුමන හිමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ භික්ෂු සංගමයේ හිටපු ලේකම්වරකි. එසේම උන්වහන්සේ දේශමාමක ජාතික බලවේගයේ සභාපති ද වේ.

2004දි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව දිනවන්නටත්, 2005 දි මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමටත් විශාල වැඩ කොටසක් ඉටුකළ උන්වහන්සේ,  2010 ජනාධිපතිවරණයේදි පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාට සහය පළ කිරීමට ඉදිරිපත් වීමත් සමග රාජපක්ෂවරුන්ගේ උදහසට ලක් විය.

2010 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ජනවාරී 2 වැනි දා උන්වහන්සේ වැඩවිසූ මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආයුධ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබූ අතර ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට උන්වහන්සේට එරෙහිව චෝදනා නඟා තිබිණ.

මේ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පවත්වන ලද අතර ටී-56 ගිනි අවි 02ක් ලඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවට උන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා උන්වහන්සේට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් පෙරේදා දිනයේ නියම කරනු ලැබිය.

එහෙත්, එම සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරවාසී මාවෙල සුබෝධ හිමි සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් යැයි හඳුන්වනු ලැබූ  පී රාජබාලන්, කේ තමිල්සෙල්වම් සහ චන්ද්‍රනම් සුබ්‍රමනියම් යන අයට ද අධිචෝදනා එල්ල වූ අතර නඩු විභාගය අතරතුරදී ඔවුන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රබල ආධාරකරුවකු වන ඌවතැන්නේ සුමන හිමියෝ 2015 පසුගිය මහ මැතිවරණයේදී ' ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්' තරඟ කළහ.