ලෝක ආහාර වැඩසටහන යටතේ මුදල් ලබා දී තිබියදීත් පාසල් දරුවන්ගේ දිවා ආහාරය කෝ: පෝෂණ මල්ල ප්‍රමාණවත්ද? - ලංකා ගුරු සංගමය

ලෝක ආහාර වැඩසටහන යටතේ මුදල් ලබා දී තිබියදීත් පාසල් දරුවන්ගේ දිවා ආහාරය කෝ: පෝෂණ මල්ල ප්‍රමාණවත්ද? - ලංකා ගුරු සංගමය

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ මුදල් ලබා දී තිබියදීත් පාසල් ආරම්භයේදී දිවා ආහාර වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රමවේදයක් නැතැයි ලංකා ගුරු සංගමය පවසයි. 

පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහනට නිසි ක්‍රමවේදයක් මෙන්ම, දරුවන් වෙනුවෙන් ලබා දීමට යන පෝෂණ මල්ල පිළිබදවද ඇති අපහැදිලිතාවය පිළිබදව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ සදහන් කරයි. 

‘‘කෝවිඞ් 19 වසංගත තත්වය හමුවේ පාසල් වැසීමට පෙර රජයේ පාසල් 7000 ක පමණ ප‍්‍රාථමික ශ්‍රේණි දරුවන් සඳහා දිවා ආහාර වැඩසටහන අඛණ්ඩව කි‍්‍රයාත්මක විය. කෝවිඞ් 19 වසංගත තත්වයෙන් පසු 2020 ජූලි 06 දින සිට 5, 11, 13 ශ්‍රේණි සඳහා පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ වූ අතර, 3, 4, 6, 7, 8, 9 ශ්‍රේණි ජූලි 27 දිනත්, 1 සහ 2 ශ්‍රේණි අගෝස්තු 10 දිනත් ආරම්භ වීමට නියමිතය. කෝවිඞ් 19 වසංගත තත්වය තුළ සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් දරුවන්ගේ දිවා ආහාර වෙනුවට පෝෂණ මල්ලක් ලබාදීමට තීරණය කරන ලද අතර, 2020 මැයි මස දී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ පාසල් ළමුන්ට පෝෂණ මල්ලක් ලබාදීමට රුපියල් මිලියන 80 ක් ලබා දී තිබියදීත් පාසල් ආරම්භයේදී දිවා ආහාර වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට කිසිදු වැඩපිළිවෙලක් සකසා නැත.

5 ශ්‍රේණිය මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර, දුෂ්කර ප‍්‍රදේශවල පාසල් දරුවන්ගේ පෝෂණ තත්වය නඟසිටුවීමට ලබාදුන් දිවා ආහාරවේලද ඔවුන්ට අහිමිව ඇත. කෝවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 3 ක පමණ කාලයක් පාසල් වසා තිබියදී මේ සම්බන්ධයෙන් ක‍්‍රමවේදයක් සැකසීමට හැකියාව තිබූ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි ක‍්‍රමවේදයක් සැකසීමට කටයුතු කර නොමැතිවීම බරපතල කනගාටුදායක තත්වයකි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර සුදුසු ක‍්‍රමවේදයක් යටතේ පාසල් දිවා ආහාර වැඩසටහන වහා කි‍්‍රයාත්මක කිරීමට කටයුතු යොදන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. එසේම පාසල් ආරම්භ කිරීමෙන් පසු පාසල තුළ දී මුඛ ආවරණ පැළදිය යුතු නැති බවට හා උණ පරීක්ෂණ කිරීම නොකළ යුතු බවට සෞඛ්‍ය අංශ විසින් ප‍්‍රකාශ කර ඇති තත්වයක් තුළ පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ දරුවන්ට දිවා ආහාරය ලබාදීම සම්බන්ධයෙන් ද නැවත සලකා බැලීමක් සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ද ලංකා ගුරු සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.“

මෙයට,

ජෝසප් ස්ටාලින් ප‍්‍රධාන ලේකම්

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න