වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ පැරණි, පැවති ක්‍රියාමාර්ග ඉතා හොඳින් නැවත ක්‍රියාවට නගමින් තිබෙන අතර වංචාව, දූෂණය, නැවත වටයකින් ඉදිරියට ගෙනෙමින් තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරයි.
රට බරපතළ ආර්ථික අර්බුදයක තිබියෙදී මේ තත්වයට යළි පණදීම විශේෂත්වයක් බවත් රජයේ ආදායම අහිමි වෙමින් තිබෙන අතර භාණ්ඩාගාරය වෙත යායුතු ආදායම් ආණ්ඩු හිතවාදී චෞර ව්‍යාපාරික වළල්ලක් අතට පත්කර ඇති බවටත් ඔහු චෝදනා කරයි.
ඔහු මේ චෝදනා එල්ලකර සිටියේ කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
එහිදී ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් මෙසේද පැවසීය.
ආණ්ඩුවේ ආදායම් ණය පොළී ගෙවන්නත් ප්‍රමාණවත් නෑ !
2020 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර තිබෙන ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 1555යි. නමුත් ණය සහ පොලී වාරිකය පමණක් බිලියන 1854ක් වැය වෙනවා. ඒ කියන්නේ රජයේ මුළු ආදායම ණය වාරික සහ පොලී වාරිකය ගෙවන්න ප්‍රමාණවත් නැහැ. 2021 වසරේ තිබෙන්නේ ඊටත් වඩා භයානක තත්වයක්.
ඇස්තමේන්තු කළ මුළු ආදායම බිලියන 1919යි. ණය වාරික සහ පොලිය ගෙවීමට බිලියන 2117ක් වියදම් වෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ මුළු ආදායම ණය සහ පොලී වාරික ගෙවීමට ප්‍රමාණවත් නැති බවයි. භාණ්ඩාගාරයේ ගිණුම මේ වනවිටත් බිලියන 541ක බැංකු අයිරාවක් තියෙන්නේ. මෙහි බර විවිධාකාරයෙන් ජනතාවට පැටවෙමින් තිබෙනවා. භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, රටේ සම්පත් විකිණීම වැනි විවිධ ක්‍ෂේත්‍රවලින් බලපා තිබෙනවා.
ආණ්ඩු හිතවාදි චෞර ව්‍යාපාරික වළල්ල !
ඒ අතර ආණ්ඩුව තමන්ට හිතවාදී ව්‍යාපාරික චෞර වළල්ලකට අතිශය ධනස්කන්ධයක් උපයා ගැනීමට ඉඩ සලසමින් තිබෙනවා. මෙවැනි ගනුදෙනු ගණනාවක් පිළිබඳව අයවැය විවාදයේදී මා කරුණු ඉදිරිපත් කළා. පුවත්පත් ගණනාවක ඒ පිළිබඳව ලිපි පළවී තිබෙනවා. ජූනි 26වැනිදා සීනිවලට රු. 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවූවා. ඔක්තෝබර් 13වැනිදා මේ බද්ද ශත 25 දක්වා අඩු කළා. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මේ බද්ද අඩුකිරීමට අනුරූපීව සුදු සීනිවල උපරිම සිල්ලර මිල රු. 85ක් සහ ආනයනකරු විකිණිය යුතු උපරිම තොග මිල රු. 80ක් හැටියට සඳහන් කළා. ඒ වනවිට රු. 135ට, 140ට තිබුණු සීනි රු. 85 දක්වා අඩුවිය යුතුව තිබුණා. නමුත් දැන් සිදුවිය යුතුව තිබෙන්නේ ආණ්ඩුවට බද්දත් නැහැ, ජනතාවට අඩු මිලට සීනිත් නැහැ. මේ වසර අවසන් වනවිට ආසන්න වශයෙන් සීනි මෙ.ටොන් ලක්‍ෂයක්වත් ආනයනය කරනවා. දළ වශයෙන් ගත්තොත් රු. කෝටි 1000ක බදු ආදායමක් අහිමි වෙනවා. කොවිඞ් වසංගතය සඳහා අවශ්‍ය වන එන්නත් මිලදී ගැනීමට ලෝක බැංකුවෙන් රු. කෝටි 1000ක (බිලියන 10) ණයක් ගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. මේ පැත්තෙන් භාණ්ඩාගාරයට එමින් තිබුණු රු. කෝටි 1000ක් තමන්ගේ චෞර ව්‍යපාපාරික වළල්ලකට අයථා ලෙස ඉපැයීමට ඉඩකඩ ලබා දෙනවා.
සීනි මදිවට පොල්තෙල් !
එයින් ප්‍රධාන ආයතනයක් තමයි විල්මා ආයතනය. මේ ආයතනය මේ වනවිටත් සීනි මෙ.ටොන් ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. ෂැංග්‍රිලා එකේ අයිතිකරු සජාන් මවුසූන් වියත්මගට විවිධ පහසුකම් සපයමින් ක්‍රියා කළ කෙනෙක්. විල්මා ආයතනය අයිතිකරු ඔහුයි. ඔහුගේ අතිරේක ලාභයට විශාල මුදලක් ලබා දෙමින් ජනතාවට සහන අහිමි කරනවා. සීනි විතරක් නෙවෙයි, පහුගිය ජූනි මස 26වැනිදා ගැසට් නිවේදනයකින් පොල්තෙල් ආනයනය කිරීමේ බදු සම්බන්ධ ගැසට් එකකින් පොල්තෙල් ආනයනය කිරීමේ බද්ද කිලෝ එකකට රු. 150ක් නියම කළා. එම ගැසට් එක වෙනුවට ජූලි මාසේ 10වැනිදා කිලෝග්‍රෑම් එකකින් රු. 25ක් අඩුකර බද්දක් නියම කළා. දෙසැම්බර් මස 14වැනිදා නැවත ගැසට් නිවේදනයකින් බද්ද රු. 125ක් කළා. දෙසැම්බර් 14වැනිදා විල්මා ආයතනයෙන් පොල් තෙල් මෙ.ටොන් 7,000ක් කොළඹ වරායට ගෙනාවා. ඒ වෙනුවෙන් බදු ගෙව්වේ කිලෝ එකකට රු.100 බැගින්. මේ ආයතනයට කිලෝ ග්‍රෑම් එකකින් රු. 25ක අතිරේක බදු ලාභයක් උපයා ගන්න ඉඩ දීලා 15වැනිදා සිට නැවත රු.25කින් බද්ද වැඩිකළා. දෙසැම්බර් 14 වැනිදා තුන් දෙනෙක් පොල්තෙල් ආනයනය කළා. දෙන්නෙක් කුඩා පරිමාණයේ අය. විල්මා ආයතනය ප්‍රධාන ආනයනකරුවා හැටියට මෙ.ටොන්. 7,000ක් ආනයනය කර දළ වශයෙන් ගැසට් සෙල්ලම හරහා මිලියන 175ක අතිරේක ලාභයක් උපයා ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අදානිට !
කොළඹ වරාය නැගෙනහිර ජැටිය අදානි සමාගමට විකිණීම ගැන විශාල සාකච්ඡාවක් තියෙනවා. අදානි සමාගම ප්‍රධාන ව්‍යාපාර හවුල්කරුවෙක් විල්මා ආයතනය. වෙබ් අඩවිවල මේ සම්බන්ධතාවය අදානි-විල්මා යනුවෙන් පැහැදිලිව සඳහන් වෙනවා. අදානි සමාගමට වරාය දෙනවා කියන එක ඇතුළේ තියෙන්නේ විල්මා සමාගම. බොහෝ ව්‍යාපාරවල හවුල්කරුවා හැටියට අදානි-විල්මා ඒකාබද්ධ සමාගමක් හැටියට ක්‍රියා කරමින් තිබෙනවා. සීනි ආනයන බදු, පොල්තෙල් ආනයන බදු උස්පහත් කිරීම හරහා වගේම කොළඹ වරාය පැවරීම හරහා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා හවුල්කරුවෙක් කරගෙන තියෙන්නේ විල්මා ආයතනය. අපි ඉදිරියේදී මේ ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. විශාල වශයෙන් වසංගතය පැතිරී යන වෙලාවක ඖෂධ ආනයනය කරන්න සල්ලි නැති රටක, ණය පොලී වාරික ගෙවන්න රජයේ ආදායම ප්‍රමාණවත් නැති වෙලාවක ආණ්ඩුව මහජනයාගේ ධනය තමන්ගේ චෞර වළල්ලට රිසි සේ කොල්ල කන්න ඉඩ සලසා දී තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසමත් අහවරයි ?
පහුගිය බදාදා මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම එහි අරමුණයි. අපේ රටේ විදුලිය, ජලය, ඛනිජ තෙල් ඒකාධිකාරිය ප්‍රධාන වශයෙන්ම රජය සතු වෙනවා. අයි.ඕ.සී. සමාගමේ තෙල් බෙදාහැරීම රජයේ පංගුවට වඩා අඩුයි. රජය සතු සමාගම් තෙල් ජලය සහ විදුලිය ජනතාවට සපයමින් තිබෙනවා. මෙම ආයතන තුළ සිද්ධ වෙන මහා පරිමාණ වංචා-දූෂණ නිසා විශාල බරක් ජනතාව මත පැටවෙමින් තිබෙනවා. දූෂණයන් හරහා මිල ඉහළ යාම පාරිභෝගික ජනතාව මත පැටවෙමින් තිබීම පාලනය කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි. මහජනතාවගේ පැත්තේ ඉඳන් කටයුතු කිරීම පැවරුණේ මේ කොමිෂන් සභාවට. එහෙම පාලනයක් නොතිබුණා නම් කියන කියන ගාණට මිලදී ගන්න ජනතාවට සිදුවෙනවා. එවැනි තත්වයන් වැලැක්වීමට මිලදී ගැනීම්, කොන්ත්‍රාත් ලබාදීම්, වැනි කාර්යභාරයන් විමර්ශනය කරන්න මේ කොමිෂන් සභාවට පවරා තිබෙනවා. ඒ ක්‍ෂේත්‍රයන් පිළිබඳව අත්දැකීම් තිබෙන කණ්ඩායම් කොමිෂන් සභාවට පත්වී සිටියා. සභාපති වශයෙන් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිතුමා පත්කර සිටියා. මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති තුමා ඇතුළු පිරිසක් සාමාජිකයන් හැටියට හිටියා.
රවී කරුණානායක මුදල් ඇමතිවරයාගේ කාලයේ 2019 වසරේ විශාල නියඟයක් එන බව පවසා කොළඹ වරාය සහ ගාලු වරායේ මෙගාවොට් 200 බැගින් ජංගම බලාගාර ස්ථාපිත කරන්න යෝජනාවක් තිබුණා. ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකා 08ක් විතර දැම්මා. මේ වෙනුවෙන් ඒකකයක් රු. 26කට වඩා වැඩි පිරිවැයක් ගණනය කර තිබුණා. එය අත්හිටවූයේ මහජන උපයෝගීතා කොමිසමයි. මේ කොමිසම නොතිබුණා නම් අදත් අසීමිත බරක් විදුලි බිලට ගෙවන්න සිදුවෙනවා. විදුලි බල මණ්ඩලයේ වංචා-දූෂණ යම් ප්‍රමාණයකට පාලනය කරන්න මේ කොමිසමට හැකිවුණා. හැබැයි මුදල් ඇමතිවරයා ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවෙන් ඒ කොමිසම අහෝසි කරන්න යෝජනා කරනවා. ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවේ ලියලා තියෙන්නේ “විශේෂයෙන් ඉදිරි මාස 24ක කාලය තුළ ඇමරිකන් ඩොලර් මිලියන 2,000ක පමණ විදුලි ක්‍ෂේත්‍රයේ කරන ලබන ආයෝජන කඩිනම් කළ හැකිවනු ඇත” කියලා. මේ ගනුදෙනුවට මහජන උපයෝගීතා කොමිසම බාධාවක්. තමන්ගේ කොන්ත්‍රාත්කරුවන්ට බාධාකාරීව තිබෙන මේ කොමිසම අහෝසි කරන්න සූදානම් වෙනවා. හොරකමට, දූෂණයට බාධා කරන ආයතන අහෝසි කරනවා.
මේ සිදුවීම්වලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ 2015 පරාජයට පත් කරන ලද එම පාලනයේ වංචා-දූෂණ චෞර කණ්ඩායමට මහජනයාගේ දේපොළ රිසි සේ කොල්ලකා ගැනීමට ගෝඨාභය රාජපක්‍ෂ පාලනය ඉඩ දෙන බවයි. මහජනයාගේ ධනය රිසිසේ කොල්ල කා ගැනීම සඳහා කරන මේ සෙල්ලම නතර කළ යුතුයි. අපි ඒ වෙනුවෙන් ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර පොල්තෙල් ආනයනයේදී විල්මා ආයතනය ලබාගෙන තිබෙන මිලියන 175ක අතිරික්ත ලාභය ලබාගන්න රේගු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. දූෂණයට එරෙහි නිලධාරීන් ඒ වෙනුවෙන් ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. ආණ්ඩුවේ චෞරයන්ට එවැනි ලාභ ලබාගන්න තිබෙන ඉඩකඩ අහෝසි කළ යුතුයි කියලා අපි රේගු නිලධාරීන්ට යෝජනා කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්...!
ඉස්ලාම් ආගම අදහන පුරවැසියන් කොවිඞ් වසංගතයෙන් මියයාමෙන් ඒ සිරුරු ආදාහනය කිරීම ගැන කම්පනයකට පත්වී සිටිනවා. පසුගියදා දින 20ක දිළිඳු දරුවෙක් ආදාහනය කිරීමත් සමග මේ තත්වය උච්ඡස්ථානයකට පත්වෙලා. අද වෙනකොට මේ සංවාදයේ පැති දෙකක් තියෙනවා. තාක්‍ෂණික, විද්‍යාත්මක, සෞඛ්‍යමය ප්‍රවේශයක් එක පැත්තක. දේශපාලන ප්‍රවේශය අනික් පැත්තේ. මෙවැනි සංවේදී ගැටලුවකට නිවැරදි ප්‍රවේශය වන්නේ විද්‍යාත්මක, තාක්‍ෂණික සෞඛ්‍යමය ප්‍රවේශයයි. නමුත් ආණ්ඩුව බලය ලබාගැනීම වෙනුවෙන් වපුරන ලද උන්මත්තක ජාතිවාදී ප්‍රවේශය හේතුකොටගෙන මේ වෙනකොට විද්‍යාත්මක තාක්‍ෂණික ප්‍රවේශයට වඩා දේශපාලනික ප්‍රවේශයක් බවට පත්කරගෙන තිබෙනවා. මේ සිරුරු සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ දේශපාලන ව්‍යාපාරයක් හෝ දේශපාලනඥයකු නොවේ. අවුරුද්දකට ආසන්න කාලයක් ලංකාව තුළ මේ වෛරසය ගැන අධ්‍යයනය කර තිබෙනවා. ඒ අනුව විද්‍යාත්මක තොරතුරු තිබෙනවා.
භූමිදානය ද ආදාහනය ද ?
ලෝකයම පිළිගත් වෛරස් විද්‍යාඥ මලික් පීරිස් මහතා භූමදානයෙන් මෙය පැතිරීම පිළිබඳව ඉතාමත් විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටිය වසංගත රෝග පිළිබඳව ප්‍රධානම විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ නිහාල් අබේසිංහ මහතා මේ ගැන මත ඉදිරිපත් කර තිබුණා. භූමදානය හරහා මෙම වෛරසය පැතිරීම සම්බන්ධයෙන් බල නොපාන බව විද්‍යාත්මකව පැහැදිලි කර තිබුණා. ඔවුන් දෙදෙනාගේම මත ප්‍රමාණවත් නැත්නම් ආණ්ඩුවට තවත් ඒ ගැන මත විමසිය හැකියි. හැබැයි මේ තුළත් දේශපාලනය සිදුකරන ආණ්ඩුව ජන කොට්ඨාසයකට සංවේදීව බලපාන ප්‍රශ්න පවා යොදාගෙන තිබෙනවා. මේ දේශපාලන කෝණයෙන් මැනීම ආණ්ඩුව අත්හැරිය යුතුයි. ආදාහනයද භූමදානයද කියන දේ තමන්ගේ දේශපාලන පොර පිටියේ එහෙට මෙහෙට දාන පන්දුවක් බවට පත්කර නොගත යුතුයි. වියළි භූමියක් සොයාගෙන භූමදානය කිරීම, මාලදිවයිනට ගෙනිහිල්ලා භූමදානය කිරීම වගේ කරුණු ගැන ප්‍රවෘත්ති පළ වෙනවා. ලෝකයම පිළිගන්නා ලද වෛරස් විශේෂඥයින්ගේ කරුණු ඉදිරිපත් කිරීම් අනුව ආණ්ඩුවක් ක්‍රියාකළ යුතුයි. දේශපාලනය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රවේශය වහාම අත්හළ යුතුයි. තාක්‍ෂණික, විද්‍යාත්මක, සෞඛ්‍යමය ප්‍රවේශයෙන් උත්තර ලබාදිය යුතුයි.
අලිසබ්‍රිගේ අනතුරු ඇඟවීම !
අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතා ජනාධිපතිවරයාගේ සමීතමයෙක් හැටියට ක්‍රියා කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ මේ ප්‍රශ්නය කවර අන්තයකින් කෙළවර විය හැකිද කියන අනතුරක් තිබෙන බවයි. ඒ නිසා මේ ප්‍රශ්නයට විද්‍යාත්මක පිළිතුරු වහාම ලබාදිය යුතුයි.
බන්ධනාගාරයේ සිදුවීම ඉතාමත් ඛේදවාචකයක්. අධිකරණ අමාත්‍යාංශය විසින් පත්කරන ලද කමිටුව ලබාදී තිබෙන වාර්තාව හෙළිකර තිබෙන්නේ එම ගැටුමට මූලික වුණු හේතු ගණනාවක් තිබුණු බවයි. බන්ධනාගාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේ කිසිවෙකුත් වෙඩි වැදී මිය නොගිය බවයි. 11දෙනාගෙන් හත් දෙනෙකුගේ මරණ පරීක්‍ෂණ තවම සිදුකර නැහැ. මරණ පරීක්‍ෂණ සිදුකළ හතර දෙනාම මියගොස් තිබෙන්නේ වෙඩි වැදීමෙන් බව හෙළිදරව් වී තිබෙනවා. මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් වෙනුවට උණ්ඩය තෝරා ගන්නා බව මෙයින් පෙන්නුම් කරනවා.
අලුත්කඩේ ගින්න !
අලුත්කඬේ අධිකරණ සංකීර්ණය ගින්න ගැන තවම වාර්තාවක් ඉදිරිපත් කර නැහැ. ජනතාවට බලපාන යම් තත්වයක් නිර්මාණය වනවිට එය අනික් පැත්තට යොමු කිරීමේ ප්‍රවෘත්ති නිර්මාණය කරන තත්වයක් දකින්න පුළුවන්. මිනීමැරුම් සම්බන්ධයෙන් වරදකරු වූ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන දවසේ මහින්ද රාජපක්‍ෂ මහතා ගව ඝාතනයන් නතර කරන බව ප්‍රකාශ කළා. මාධ්‍යයෙන් සාකච්ඡාවට බඳුන් වුණේ ගව ඝාතනය නතර කිරීම ගැන. හැබැයි එහෙම අය ලෝකයේ මස් අවශ්‍යතාවයෙන් 10%ක් නිෂ්පාදනය කරන මස් කර්මාන්ත ශාලා විවෘත කරනවා. අධිකරණය ගිනිගත් දවසේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා, නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරන්න. ආණ්ඩුව රටටත් ජනතාවටත් අහිතකර තීන්දු ගත්තාම ඒ ගැන අවධානය වෙනතක යොමු කරන්න යම් නාටකීය තත්වයන් නිර්මාණය කරන බවට යම් සාධාරණ සැකයක් මතුවී තිබෙනවා.
කොවිඩ් පැණිය !
කොවිඞ් වෛරසයට පැණිය නිෂ්පාදනය කිරීමත් ඒ වගෙයි. ඇත්ත ප්‍රශ්නය යට ගැසීමට යම් නාටකීය ආකාරයෙන් තත්වයන් මතු කරනවා. අපේ ආයුර්වේද දේශීය වෛද්‍ය ක්‍රමයට විශාල ඉතිහාසයක් තිබෙනවා. අදත් ගම්වල ඕනෑම රෝගියෙක් පළමුකොටම පාරම්පරිකව වෙදකම හා හෙදකම උපයෝගී කර ගන්නවා. මෙතන තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. කාලි අම්මා ආවේශ වෙලා හොයාගන්නා බෙහෙතක් ගැන පරීක්‍ෂණ කරන්න බාර දෙනවා. මේ වගේ විකාර රූපී නාටකයන් ආණ්ඩුව දියත් කරන බව පේනවා. උසාවිය පිළිබඳ ප්‍රශ්නයත් එහෙම එකක්ද කියන ප්‍රශ්නයක් තිබෙනවා.
■ එළඹෙන 2021 වසරේ නව ව්‍යවස්ථාවක් සකස් කරන බව ආණ්ඩුව කීවා. වඩාත් යෝග්‍ය වෙන්නේ නව ව්‍යවස්ථාව සම්මත කර ඒ තුළ පළාත් සභාවල තිබෙන ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමයි. අනික් පැත්තෙන් පවතින මේ තත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීම කෙතරම් උචිතද කියලා බලන්න වෙනවා. නමුත් මැතිවරණ ප්‍රමාද කිරීමත් උචිත කරුණක් නෙවෙයි. පළාත් සභා මේ වනවිට ආණ්ඩුකාරවරයෙක් යටතේ පවතින්නේ. ඔහු තමන්ට හිතුමතේ ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියා කිරීම අපිට දකින්න පුළුවන්. මේ තත්වය කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ.
■ ආණ්ඩුව පාලනය කළ යුතු බොහෝ දේවල් ජනතාවගේ පැත්තෙන් අත්හැර තිබෙනවා. මේ වෙලාවේ ජනතාවගේ පැත්තෙන් බලනවා නම් පාලනය කළ යුතු ප්‍රධානම දේ බඩුමිල ඉහළ යෑම. නමුත් ආණ්ඩුව එය අත්හැර ෆේස්බුක් පාලනය කරන්න උත්සාහ කරනවා. සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩුවේ අණසකට මාධ්‍ය සියල්ලම යටත්කරගෙන තිබෙනවා. සමාජ මාධ්‍යයත් විශාල ප්‍රමාණයක් මෙහෙයවනවා. පුරවැසියන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් තමන්ගේ මත ප්‍රකාශ කරන්න විශාල වශයෙන් යොදා ගන්නේ සමාජ මාධ්‍යය. අලි සබි්‍ර ඇමතිවරයා මසකට මිලියන 17ක වියදමින් අලුත් කාර්යාලයකට යාම ප්‍රශ්න කළේ සමාජ මාධ්‍යවලින්. එය නවත්වාගන්නට සිදුවුණේ සමාජ මාධ්‍ය නිසා. පැණිය ගත්තත් දකින්නට තිබෙන්නේ ඒ තත්වය. මේ නිසා ආණ්ඩුව විශාල උත්සාහයක් දරනවා සමාජ මාධ්‍ය පාලනය කරන්න. අපි මේ තත්වය මුළුමනින්ම හෙළා දකිනවා. ජනතාවගේ සිතීම පාලනය කිරීමට ආණ්ඩුව දරන මේ ප්‍රයත්නය පරාජය කළ යුතුයි.
■ පාස්කු ප්‍රහාරය ගැන පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසමට අපහාස කිරීමේ චේතනාවක් නැති බව ඒ ගැන සමාව ඉල්ලන බව ඒ නීතිඥවරිය ප්‍රකාශ කර තිබුණා. ඒ නිසා කොමිසමට අපහාස කළා කියලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු නොකළ යුතු බව කොමිසමත් තීරණය කර තිබුණා. නිශාරා මහත්මියගේ සිදුවීම පිළිබඳව තියෙන්නේ ඒ තත්වය. නමුත් පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසම ගැන බැලුවොත් නම් කාදිනල් තුමා විසින් කළ ප්‍රකාශය වැදගත් වෙනවා. පීඩාවට පත් පාර්ශ්වයන් හෝ නීතියේ සාධාරණත්වය අපේක්‍ෂා කරන පාර්ශ්වයන් මෙම කොමිසමේ ක්‍රියාවලියට කිසිසේත්ම එකඟ නොවන බව ප්‍රකාශ කර තිබෙනවා. මේක තවත් ඉවර වෙන්නැති ටෙලි නාට්‍යයක් වගේ බව පේනවා. ආරම්භයේ සිටි නළුවා පස්සේ වෙනකොට නැහැ. පටන් ගන්නකොට ප්‍රේමවන්තිය පස්සේ බලනකොට නැහැ. අන්න ඒ වගේම නාට්‍යයක් බවයි පාස්කු කොමිසම බැලුවාම මටනම් පේන්නේ. දැන් කෙළවර වෙලා තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥවරියක් කොමිසමට කැඳවීමෙන්. පාස්කු කොමිසම පටන් ගන්නකොට ඒ පරීක්‍ෂණවල අහල පහළවත් සිටියේ නැති කෙනෙක්. මෙගා නාට්‍යවල අලුත් ප්‍රේමවන්තිය වගේ තත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා කොමිසම ඉලක්කයකට සැලසුම්සහගතව ක්‍රියාත්මක නොවන බවට සමාජ මතයක් තියෙනවා. ඒ මතය සාධාරණ බව අපටත් දැනෙනවා.
■ කොවිඞ් තත්වය තිබුණත් අලුත් අවුරුද්දක් ළඟා වෙමින් තිබෙනවා. ජනතාවගේ වගකීම් ඉටු කරමින් මෙම වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට අදාළ කටයුතු සියලුම අවස්ථාවලදී සිදු කරන ලෙසට අපි ඕනෑකමින් ඉල්ලා සිටිනවා. පුරවැසියන් හැටියට අපි හැම දෙනාම අපි අපේ වගකීම් ඉටු කරමු. මේ උත්සව සමයේ ඒ වගකීම් ඉටුකර අලුත් අවුරුද්ද වෛරසය ව්‍යාත්ම වීමෙන් වළක්වාගන්න කැපකිරීම් කරමු කියලා ඉල්ලා සිටිනවා.

