කොවිඩ් මෘතදේහ සම්බන්ධව තීන්දුව ගතයුත්තේ කෙසේද ? රනිල් පහදයි !

කොවිඩ් මෘතදේහ සම්බන්ධව තීන්දුව ගතයුත්තේ කෙසේද ? රනිල් පහදයි !
කොවිඩ් 19 මෘත දේහයන් සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගතයුත්තේ සියළු ජනකොටස් සමග සාකච්ඡා කිරිමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  අද (23)  සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අමතමින් ප්‍රකාශ කළේය.
 
මෘත දේහයන් අදාහනය කරන්නේ ද භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරිම ඒ ඒ ජනකොටස්වල අයිතිවාසිකමක් බවත් විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්ඡා කළයුතුව තිබූ බවත් ඔහු  කීවේය.
 
එහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
කතෝලික ජනතාවත් මෘත ශරීර භූමදානය කරනවා. මුස්ලිම් ජනතාවත් මෘත දේහයන් භූමදානය කරනවා. මේක ඔවුන්ගේ ආගමික විශ්වාස මත කරනා දෙයක් බැවින් අපි එම විශ්වාසයන්ට ගරු කරනවා. එය ආගමික අයිතිවාසිකමක්. එක්සත් ජාතික පක්ෂය හැමදාම ජාතීන් අතර සංහිදියාව පිළිගත් පක්ෂයක්. බෞද්ධ මෙන්ම හින්දු ජනතාවත් භුමදානය කරන අවස්ථා තියෙනවා. ඔවුන් මෘත දේහයන් ආදහනය කරන අවස්ථාත් තියෙනවා. ඒ අයිතිවාසිකමත් අපි පිළිගන්න ඕනා.
අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළ ආකාරයට මෙය අතිශයින්ම පෞද්ගලික අයිතිවාසිකමක්. ජනතාවගේ මුලික අයිතියක්. කොවිඩ් වසංගතය හමුවේ මෘත දේහයන් භුමදානය කරන්නේද අදාහනය කරන්නේ ද යන්න පිළිබදව ගැටළුවක් මතු නොවන ආකාරයට විසදීම ආණ්ඩුවේ වගකීමක්.
මේ ප්‍රශ්නයේදි ජනතාව ආගමකට අනුව වෙන් කිරිම නොකළ යුතු දෙයක්. ජනතාව ජාතිය, ආගම, කුලය අනුව වෙන් නොකර පවතින සැබෑ තත්ත්වය ගැන ආගමික නායකයන් සමග සාකච්ඡා කළ යුතුයි. 
 
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න අවශ්‍යයි. එතනදි ඔවුන්ගේ අවශ්‍යතාවය පිළිබදව බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් සංස්කෘතික දෙපාර්තමේන්තු සමග සාකච්ඡා කොට තීරණයක් ගැනීමයි කාලෝචිත වන්නේ. සංස්කෘතික දෙපාර්තමේන්තු සේම මෙම සාකච්ඡාවන්ට ආගමික නායකයින් ද සම්බන්ධ කර ගත යුතුයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සේම කොරියාව, ඉන්දියාව, ජර්මනිය යන රටවල් මේ කාරණය සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය විමසා බැලීම වැදගත්. සෞඛ්‍ය අංශ කියන කාරණය අපි ඉහළින්ම පිළිගන්නවා. එම නිසා සියළු පාර්ශව සමග සාකච්ඡා කොට අවසන් විසදුමකට එනවා විනා ඒකපාර්ශවිකව, අන්තගාමිව කටයුතු කොට මෙවැනි සංවේදි ප්‍රශ්න අවුල් නොකරණ ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න