මිලේච්ඡත්වයන් ඉදිරියේ ස්වකීය හෘදය සාක්ෂිය පාවා නොදෙමු ! කරූගේ නත්තල් පණිවිඩය

මිලේච්ඡත්වයන් ඉදිරියේ ස්වකීය හෘදය සාක්ෂිය පාවා නොදෙමු ! කරූගේ නත්තල් පණිවිඩය

සියළු වද බන්ධන දරාගනිමින් මිලේච්ඡත්වයන් ඉදිරියේ ස්වකීය හෘදය සාක්ෂිය පාවා නොදුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවසන කුරුසය මත කටුක මරණය තෝරා ගත් බව සිහිපත් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය නිවේදනයක් නිකුත්කර ඇත.

ඒ එළැඹෙන නත්තල වෙනුවෙනි.

යේසුස් වහන්සේගේ මාර්ගෝපදේශය එම යුගයේ දේශපාලන අධිකාරිත්වය තුළ තිබූ පටු බලකාමී අරමුණු වලට පටහැනිව බවත් සිහිපත් කරන එම සසම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වන්නේ ලෝකය දුකෙන් මුදවාලීම පිණිසය. ආදරය කරුණාව මෛත්‍රීය පදනම් කරගනිමින් උන්වහන්සේ දේශනා කළ දහම එවක පැවති සමාජය තර්කානුකූල මාවතකට යොමුකරනු ලැබීය. 

උන්වහන්සේගේ මාර්ගෝපදේශය එම යුගයේ දේශපාලන අධිකාරිත්වය තුළ තිබූ පටු බලකාමී අරමුණු වලට පටහැනිවිය. උන් වහන්සේගේ දේශණාව මිත්‍යාව වපුරවමින්, මනුශ්‍යත්වයට නිගා දෙන සමාජ ස්තරායනයක් නඩත්තු කළ ප්‍රභූවරුන්ගේ උදහසට හේතු විය. එනිසාම උන්වහන්සේට එරෙහිව නැගී සිටියේ වියරු බලකාමීත්වය සහ මිත්‍යාදෘෂ්ඨියයි. 

දෙවියන් වහන්සේගේ පුත්‍රයා මුහුණ දුන් අනේක විධ ගැරහුම්, පාවාදීම් හා වද බන්ධන පෙන්වා දෙනුයේ බලකාමය සහ මිත්‍යාවෙහි අමානුශික හා නග්න ස්වරූපයයි.  එහෙත් එම සියළු වද බන්ධන දරාගනිමින් මිලේච්ඡත්වයන් ඉදිරියේ ස්වකීය හෘදය සාක්ෂිය පාවා නොදුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවසන කුරුසය මත කටුක මරණය තෝරා ගත්හ. 

එම උතුම් ජීවිත පරිත්‍යාගය තුළින්, උන්වහන්සේ ලෝක සත්වයාට කියා දුන් ශ්‍රේෂ්ඨ පිණිවිඩය මේ මොහොතේ සිහිපත් කළ යුතුය.

එනම්, මිත්‍යාව හා මිලේච්ඡත්වය තාවකාලිකව ජයගනු ලැබිය හැකි නමුත්, සදාකාලිකවම පරාජය වනු ඇති බවයි. සත්‍යවාදීත්වයේ පරමාදර්ශය වූ ජේසුස් ක්‍රිස්තුස්  වහන්සේ  කිතුණු බැතිමතුන්ගේ පමණක් නොව අවිහිංසාව සත්‍යය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින සියළු මිනිසුන්ගේ ශාස්තෘ වරයෙක් වන්නේ එහෙයිනි.

එබැවින් උන් වහන්සේ ගේ ලොව පහළ වීම මනුශ්‍යත්වය ඔසවා තැබීමක්ම වන්නේය.  එම අසිරිමත් උපත සමරන මෙම නත්තලෙහි ලක් වැසි ආදරණීය කිතුනු බැතිමතුන්ටත් සමස්ත ලෝ වැසි යහපත් මිනිසුන්ටත් සුභ නත්තලක් වේවා යැයි ආසිරි පතමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න