චම්පිකට ප්‍රබල තනතුරක් ඕන : සජිත්ගේ මුහුණටම කියලා !

චම්පිකට ප්‍රබල තනතුරක් ඕන : සජිත්ගේ මුහුණටම කියලා !

සමගි ජනබලවේගය පක්ෂයේ වගකිව යුතු තනතුරක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වෙත ලබාදීමට කටයුතු කරන ලෙස එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 15කට අධික පිරිසක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙතින්  ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඊයේ (07) පස්වරුවේ පක්ෂ නායක සජිත් සමඟ පැවති සාකච්ඡාවේදීය.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කර ඇත්තේ ආණ්ඩුව මෙතරම් දුර්වල රාජ්‍ය පාලනයක නිරතව, දිනෙන් දින ජනතා අප්‍රසාදයට ලක්වන පසුබිමේ එහි වාසිය ගැනීමට සිදුවන විපක්ෂයේ භූමිකාව තවත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙනි.

මෙහිදී අදාළ මන්ත්‍රී පිරිස පෙන්වා දී ඇත්තේ සමගි ජනබලවේගයේ උප නායක තනතුරක පාඨලී චම්පික රණවක  සිරකර තැබීම ඵලදායි නොවන බවත් ඔහුට පක්ෂයේ ප්‍රධාන තනතුරක් දීම හරහා ඊට වඩා වැඩි යමක් ගතහැකි බවය.

මෙම හමුවේදී මන්ත්‍රී පිරිස පාඨලී මන්ත්‍රීවරයා මධ්‍යම පන්තියේ ජනප්‍රිය බවත්, බෞද්ධ බලවේග සහ වෘත්තිකයන්, මෙන්ම ආණ්ඩුවේ සිටින ජාතිකවාදී අමාත්‍යවරුන් සමඟ ඇති සම්බන්ධතා පිළිබඳවත් සිහිපත් කර ඇති බවත් වාර්තා වෙයි.

චම්පික ගැන තීන්දුව රංජිත්ගේ අතට !

ranjith m 10000px  එහිදී නම් සඳහන් කෙරුණු  ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වාසුදේව නානායක්කාර,  දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන , ප්‍රභාත් ගම්මන්පිළ වැනි කිහිපදෙනෙකු සිටින බවත් වාර්තා වෙයි. කෙසේ වුවත් මේ මන්ත්‍රී පිරිසේ යෝජනාව සම්බන්ධව සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස සෘජු ප්‍රතිචාරක් දක්වා නොමැති බවත් ඒ වෙනුවට පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන ලෙස දන්වා ඇති බවත් වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ මන්ත්‍රී කණ්ඩායමේ අපේක්ෂාව 2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සහ සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ජනාධිපති අපේක්ෂකත්වයට පත්කර අගමැති අපේක්ෂකත්වය සඳහා පාඨලී චම්පික මන්ත්‍රීවරයා ඉදිරිපත් කිරීමය. 

සමගි ජනබලවේගය අභ්‍යන්තරයේ සජිත් - චම්පික සීතල යුද්දයක් ගැන පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුළත් , දේශපාලන ක්ෂේත්‍රය තුළත් විවිධ කතාබහ සහ පුවත් පළවිය.  මෙහි තීරණාත්මක අවස්ථාවක් ලෙස වාර්තා වන්නේ චම්පික මන්ත්‍රීවරයා ජාතික හෙළ උරුමය පක්ෂයෙන් ඉවත්ව "43 සේනාංකය " නම් දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම ය.

ඒ සම්බන්ධව පළවූ මාධ්‍ය වාර්තා වල සඳහන් වූයේ සජිත් වාදීන් මේ නව සංවිධානය පිහිටුවීම සහ එය ජාතික සමගි බලවේගය පක්ෂයෙන් බාහිරව පිහිටුවීම ගැන පාඨලී අමාත්‍යවරයාගෙන් දැඩිව ප්‍රශ්න කර ඇති බවයි.

ශිරාල්ලා 

තවද මේ  පක්ෂ  අභ්‍යන්තරයේ තිබෙන තවත් කතාබහක් වී ඇත්තේ සමගි ජනබලවේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස පෙනී සිටියත් ඊට ඉහළින් සිටින අදිසි බලවේගයකට අවශ්‍ය ආකාරයට පක්ෂය මෙහෙයවෙමින් ඇති බවය.

2024 වන විට සජිත් පසුපසට ඇද දමා චම්පික ජනාධිපති අපේක්ෂකයා වීමේ අවධානමක් ගැන තක්සේරු කර චම්පිකව පැත්තකට කිරීම සිදුකර ඇති බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. එසේම චම්පික හිතවාදීන් ලෙස සලකා පක්ෂය බිහිකිරීමට විශාල වැඩ කොටසක් සිදුකල  නීතිඥ ශිරාල් ලක්තිලක, නීතිඥ මෛත්‍රී ගුණරත්න, රජිත් කීර්ති තෙන්නකෝන් වැන්නන්ට කිසිම තනතුරක් පිරිනොනමා පැත්තකට කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. මේ දිනවල සමගි ජනබලවේගයේ අදිසි නායකත්ව බලවේගය විසින් සජිත් සමඟ ෆොන්සේකා කරළියට ගෙනවිත් ඇති නමුත් අද ෆීල්ඩ් මාර්ෂල් සරත්  ෆොන්සේකා සිටින තැන මීට පෙර සිටියේ චම්ම්පික රණවක  බවත් ඔවුන් පවසයි. එමෙන්ම සමගි ජනබලවේගයේ 2024 ජනාධිපති අපේක්ෂක සජිත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක යොදවා ප්‍රකාශ කරවා ඇත්තේද ඉහත බලවේගයේ මැදිහත්වීමෙන් බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

චම්පික එක්ක අපි නම් නෑ - ආණ්ඩුවේ ඇමතිලා කියයි !

nuwara rally

මේ අතර ඊයේ සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් සමඟ පක්ෂ නායක සජිත් කළ සාකච්ඡාව පිළිබඳ ආණ්ඩුවේ පිරිස් වෙතත් තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙයි.

එහිදී නම් සඳහන් වූ ආණ්ඩුවේ මැතිඇමතිවරුන් කිහිපදෙනෙකු සමගි මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රබලයකුට දන්වා ඇත්තේ , ඊයේ පක්ෂ නායක සජිත් සමඟ පැවති සාකච්ඡාවේදී තම නම් චම්පිකගේ හිතවතුන් ලෙස සඳහන් වූ බවට ගිය කතා බහක් ගැන දැනගන්නට ලැබුණු බවත් නමුත් තමන්  මොන දේශපාලන තීන්දුවක් ගත්තත් චම්පික පෙරමුණ ගත් ව්‍යාපාරයකට එක්නොවන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න