ජීවිතය නැති වුණත් ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා : කටුවාපිටිය දේවස්ථානයේදී කාදිනල් කියයි !

ජීවිතය නැති වුණත් ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා : කටුවාපිටිය දේවස්ථානයේදී  කාදිනල් කියයි !

"මම මරණයට බය නෑ - මාව නිහඩ කරන්න කිසිම බලවේගයකට බැහැ. මගේ ජීවිතය නැතිව ගියත් ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා" යැයි අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්  පවසා ඇත.

ඒ ඊයේ (20)  පාස්කු ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයේදී වාර්ෂික මංගල්‍යයට එක්වෙමින්ය.

මේ අතර පාස්කු බෝම්බකරුවකු වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ්ගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් දසදෙනා නිදහස් කළ ආකාරය පිළිබඳ දැනගැනීම සඳහා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර අගරදගුරු නිල නිවසට ඊයේ (20) පස්වරුවේ කැඳවා කරුණු විමසීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි.

ඊබ්‍රාහිම්ගේ කම්හලේ සේවකයන් නිදහස් වීමත් සමග කතෝලික ප්‍රජාවට විමර්ශන ගැන කුකුසක් ඇතිව තිබෙන බවත් කතෝලික ප්‍රජාවට මුහුණදිය නොහැකි තත්ත්වයක් ඉන් තමන්ට ඇතිවන බවත් කාදිනල්වරයා මහජන ආරක්ෂක ඇමැති වෙත එහිදී පවසා ඇතැයිද වාර්තා වෙයි.මෙම සැකකරුවන් ගැන විමර්ශන කර නීතිපතිවරයාට යොමු කළ පසු නීතිපති උපදෙස් මත සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇති බවත් දැනගන්නට ඇත.  

මෙම විමර්ශනවලදී සාක්ෂි නිසියාකාරව හසුරුවනවාද යන්න ගැන විමසිලිමත් වන්නැයි කාදිනල්වරයා ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.

කාදිනල් පොලිස් ඇමති කැඳවයි : ඒත් කැඳවන්න තිබුණේ අධිකරණ ඇමතිවයි !

පාස්කු 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් නැමැත්තාට අයත්ව තිබූ පාස්කු ප්‍රහාරයේ බෝම්බ සකස් කළ බවට චෝදනා එල්ල කළ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් මත නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය නියෝග කලේ පසුගිය 19 වෙනිදාය.

ඒ වගේම මේ සිදුවීමට අදාළ නඩු කටයුත්ත අවසන් කිරීමටත් එදින නියෝග කර තිබු අතර අතිරේක මහේස්ත්‍රාත්වරිය මේ  තීන්දුව ලබාදී තිබෙන්නේ මේ සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නිතිපතිවරයා ලබාදී ඇති උපදෙස් අනුව ඒ බව ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දීම හේතුවෙනි.

ඒ අනුව පුත්තලමේ පදිංචි, ශෙයියදු අලි මොහොමඩ් අෆිල්, ඩයගම පදිංචි මහාවංශ මුදියන්සේලාගේ සමන්ත, බඩල්කුඹුර පදිංචි මොහොම්මදු වංගීර් මොහොමඩ් වංගීර්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් සාලීහු මොහොමද් ආරුස්, බඩල්කුඹුර පදිංචි මොහොමඩ් අස්වාන් මොහොමඩ් අස්කම්, පෙරියමඩු පදිංචි සලීම් සන්හින්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් හිදාර් මොහොමඩ් සුමෙයිර්, හපුතලේ පදිංචි රෙන්ෂන් ගෝවින්ද සාලි, මුරුතලාගහමුල්ල පදිංචි හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ යන අයවලුන් නිදහස ලබා ඇත.

මෙහි නව වැනි සහ දස වැනි සැකකරුවන් දෙදෙනා වන හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ යන අය මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔවුන් දෙදෙනා මුදා හරින ලෙසටත්  අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කර තිබෙන බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් තඹ කම්හලේ සේවය කළ සැකකරුවන් නිදහස්වීම සම්බන්ධව කරුණු විමසීමට කාදිනල් විසින් පොලිසිය භාර අමාත්‍යවරයා කැඳවීම සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව අයත් වන්නේ අධිකරණ අමාත්‍යංශයට බැවින් කැඳවිය යුතුව තිබුණේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිව බවය. 

එසේ වුවා නම් විමර්ශන ගැන වගේම ඉදිරි නීති කටයුතු සම්බන්ධව දල අදහසක් ගෝ ගැනීමට කාදිනල්ට අවස්ථාව තිබු බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න