Language Switcher

V2025

ඉහළම තැනක සාකච්ඡාවක් - ටයිල් ආනයනකරුවන් කබලෙන් ලිපට !

ටයිල් වර්ග ඇතුළු නානකාමර කට්ටල ආනයනය  අත්හිටුවීම හේතුවෙන් කර්මාන්තය මුහුණදී ඇති අර්බුදයෙන් සහනයක් ගැනීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුවේ ඉහළම නිලධාරියකු  සමඟ ටයිල් ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සහ හිටපු සභාපති සාකච්ඡාවට ගියත් එයින් සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටුණු තත්ත්වයක් බව ටයිල් ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් පවසයි.

මතුව ඇති තත්ත්වය  සම්බන්ධව අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ ආනයනික  නානකාමර කට්ටල  කිලෝවක් සඳහා රුපියල් 35.00ක බද්දක් පැවති නමුත් ආනයන සීමා කිරීමේ වත්මන් ආණ්ඩුව ගනුලැබූ තීන්දුව හමුවේ ටයිල්  වර්ග සහ නානකාමර කට්ටල  ආනයනය තහනම් වූ බවයි.

මේ වන විට මාස ගණනක් පුරා ආනයනය තහනම් කිරීමෙන් දැඩි අර්බුදයකට මුහුණදී සිටින මේ  කර්මාන්තය දැන් දේශීය සමාගම් දෙකක ඒකාධිකාරයට යටත්ව ඇත.

ඒ තුළ ආනයනික තහනම පැනවීමට පෙර රුපියල් 14500-16500ක් වැනි මිලකට තිබූ නානකාමර  කට්ටලයක දේශීය වෙළඳපොල මිල මේ වන විට රුපියල් 45000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත. මෙය කිසිසේත් දේශීය සාමාන්‍ය පාරිභෝගික ජනතාව වෙත දරාගත හැකි තත්ත්වයක් නොවන අතර වෙළඳපොල භාණ්ඩ හිඟයක්ද පවතින බැවින් ඇතැමුන් මේ තුන්ගුණයකට ආසන්න මිල වැඩිවීම නොතකා අදාළ උපාංග  මිලදී ගනිමින් තිබේ.

මේ තුළ එක්පසෙකින් පාරිභෝගික ජනතාව දැඩි සූරාකෑමකට ලක්වන අතර අනෙක් පසින් දේශීය සමාගම් ඉහළ අතිරේක ලාභයක් ලබමින් සිටියි. එසේම ආනයන අත්හිටුවා ඇති බැවින් ඒ ආශ්‍රිත කර්මාන්තයේ නියැළි සියල්ලන්ගේම ජීවනෝපායන් ඇණහිට අති දුෂ්කර තත්ත්වයකට මුහුණපා සිටියි.

මතුව ඇති අර්බුදය සම්බන්ධව ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශව දැනුවත් කිරීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ටයිල් සහ නානකාමර කට්ටල  ආනයන තහනම ඉවත් කිරීමට ගැසට් පත්‍රයක් නිකුත් කළ නමුත් පැය 24ක් ගතවීමට පෙර ආනයන අපනයන පාලක විසින් එකී නිවේදනය බල රහිත කෙරිණ.

ඒ අනුව සහනයක් පෙනෙනතෙක් මානයක තිබී නැත.  ටයිල් ආනයනකරුවන්ගේ සභාපති සහ හිටපු සභාපති ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ නිලධාරියකු  සමඟ සාකච්ඡාවක් ලබාගෙන ඇත්තේ මේ අතර වාරයේය.   මෙම සාකච්ඡාවට පෙර  ආනයනකරුවන්ගේ යෝජනාව ලෙස සංගමයේ සාමාජිකයන් එකඟතාව පළකර ඇත්තේ නානකාමර කට්ටල  කිලෝවක් රුපියල් 35.00 සඳහා වූ බද්දට ආණ්ඩුව එකඟ නොවේනම් 2015 ට පෙර තිබූ බද්ද වූ කිලෝවක් සඳහා රුපියල් 70.00 සඳහා එකඟවී කෙසේ හෝ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමටය.

නමුත් එහිදී සිදුව ඇත්තේ නියෝජිතයන් දෙදෙනා කිලෝවක් සඳහා රුපියල් 125.00 ක බද්දට එකඟතාව පළකර පැමිණ තිබීමය. මෙය අදහා ගත නොහැකි එකඟතාවක් බවත් සියතින් බෙල්ල කපා ගැනීමට එකඟවීම වැනි කටයුත්තකට සමාන තත්ත්වයක් හැර වැඩි යමක් මේ තුළ නොමැති බවත් සාමාජික අදහසවී ඇත. 

දැන් සංගමයේ සාමාජිකයන් පවසන්නේ, මේ බද්ද යටතේ ආනයනය කළහොත් මේ වන විට වෙළඳපොලේ ඇති මිල වැඩිවීම කොහෙත්ම පාලනය කළ නොහැකි බවය. එසේම ඒ හරහා පාරිභෝගිකයන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවත් ඔවුන් සඳහන් කරයි.

ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරික ඒකාධිකාරය පවත්වාගෙන යාම සඳහා ටයිල් වර්ග සහ නානකාමර කට්ටල  ආනයනය අත්හිටුවා ඇති බවත් ඒ සම්බන්ධව ජනාධිපති ලේකම් සමඟ සිදුකළ සාකච්ඡාවෙන් පසුව සහනයක් ලැබෙනු වෙනුවට අහිංසක ජනතාවගෙන් වැඩි මුදලක් ගැරීමේ පවට  තමන්වත් සහභාගී කර ගැනීමට වඩා දෙයක් සිදුව නැති බවත් ඔවුන් පවසයි.

මේ වන විට මතුව ඇති මේ බලවත් අසාධාරණය සම්බන්ධව ආණ්ඩුවේ ඉහළම ප්‍රධානීන් දිගින් දිගටම දැනුවත් කරන බවත් ඊට වඩා කිරීමට දෙයක් තමන්ට නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

මහල් නිවාස සංකීර්ණ ඉදිකරන්නන්ද අමාරුවේ !

මේ අතර මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා මහල් නිවාස සංකීර්ණ ඉදිකරන්නන්ගේ සංගමය සඳහන් කර සිටින්නේ, පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හමුවේ ඇදවැටුණු තම කර්මාන්තය ටයිල් සහ නානකාමර  කට්ටල ආනයනය අත්හිටුවීම හමුවේ තවදුරටත් කඩාවැටෙන තැනකට පත්ව ඇති බවය.

එසේම මේ වන විට ඒ ආශ්‍රිත වෙළඳපොළ මිල සීග්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බවත් ගනුදෙනුකාර භවතුන් සමඟ පූර්ව ගිවිසුම් ගතව සිටින නිසා වැඩිවන මිලේ පාඩුව තමන්ට දැරීමට සිදුව ඇති බව ඇතුළු කර්මාන්තයේ මතුව ඇති අර්බුද එකී ලිපියේ සඳහන්කර ඇත.

එම ලිපිය පහත දැක්වෙයි.

WhatsApp Image 2021 02 08 at 3.17.48 PM