Language Switcher

V2025

විමල් වහාම සමාව ගනු : පොහොට්ටුවෙන් නිල විධානයක් !

පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ පුවත්පතකට  සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව  ජනතාවගෙන් සමාව ගතයුතු බවට පොදුජන පෙරමුණේ මහ  ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

අදාළ ප්‍රකාශය අමාත්‍ය විමල් වීරවංශ සිදුකර තිබුණේ පසුගිය ඉරිදා (07) ලංකාදීප පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් පොදුජන පෙරමුණ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් වැඩිදුරටත් මෙසේද පැවසීය.

"විමල් වීරවංශ ඇමතිවරයා ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් කරලා තියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත්කොට එය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දෙන්න ඕන කියලා. මම හිතන්නේ විමල් වීරවංශ මහත්තයා දැනගන්න ඕන මේක එතුමාගේ පක්ෂයත් නෙවෙයි, එතුමාට අපේ පක්ෂය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න කිසිඳු අයිතියකුත් නෑ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නවත් එතුමාට අයිතියක් නෑ.  ඒ නායකත්වය සම්බන්ධයෙන් එතුමා කළ ප්‍රකාශය එතුමා ජනතාවගෙන් සමාව ඉල්ලා, ඉල්ලා අස්කරගත යුතුයි කියන තැන පක්ෂයක් විදියට අපි ඉන්නවා.  මොකද එතුමාට කිසිඳු අයිතියක් නෑ, අපේ පක්ෂය ගැන එවැනි කිසිඳු ප්‍රකාශයක් කරන්න. 

ඒ වගේම පක්ෂයක් හැටියට අපි ඉතාම කණගාටු වෙනවා, අපේ සන්ධානයට එකතුවෙලා ඉන්න පක්ෂයක නායකයෙක් හැටියට මේ වගේ පල්ලෙහා තත්ත්වයේ ප්‍රකාශයක්, කරමින් විමල් වීරවංශ මහතා මේ රජයේ සාමුහිඛත්ව වගකීම දරන කැබිනට් අමාත්‍යවරයෙකු විදියට ඉඳගෙන, මේ වගේ තුන්වෙනි පන්තියේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන්. අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා"

ලංකාදීපයට විමල් කියපු දේ !

රාජ්‍ය නායකයා ලෙස භූමිකාව බාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල චරිතයක් නොවන බවද පවසන ඔහු රාජ්‍ය නායකත්වය භාර ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ඔහුට ලබා දීම සිදු කළ යුතුව තිබූ බව අමාත්‍ය විමල් වීරවංශ ලංකාදීපය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබූ අතර එසේ නොකර ජනාධිපතිව , ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බවත්  පවසා තිබිණ.

එසේම  ඇතැමුන් තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීමට ආණ්ඩුවට විශාල හානියක් සිදු කරමින් සිටින බවත් ඒ පෞද්ගලික බල පෙරේත කම සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදු කරන විනාශකාරී බලපෑම හොඳින් දකින බවත් ඒ ගැන විශාල කනගාටුවක් ඇති බවත් ඔහු එහිදී සඳහන් කර ඇත.

මෙකී කටයුතු හේතුවෙන්  සිදුවන්නේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර තිබෙන සබැඳියාව දුබල වීම බවත් එය ආණ්ඩුවේ සහ රටේ නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නොවන බවත් ඔහු පවසා තිබු අතර ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ කුමන අපේක්ෂාවන් මුදුන්පත් ගැනීම සඳහා දැයි තමනට පැහැදිලි නැතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

බැලමෙහෙවර කරලා ගත්ත මන්ත්‍රීධුරයක් :  පොහොට්ටු ලේකම්ටත් ප්‍රහාරයක් !

තවද මොන ප්‍රහාරයට ලක් වුවද රට ජාතිය වෙනුවෙන් දරන ස්ථාවරය හා ගන්නා ක්‍රියාමාර්ග අබමල් රේණුවක තරම්වත් වෙනස් නොකරන බවත් අදාළ සාකච්ඡාවේදී සඳහන් කර තිබුණු අතර  තමන් විමින් කරන ප‍්‍රකාශයන් ගැන කණගාටු වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා සඳහන් කර තිබුණද ඔහුට කනගාටුදායක වූවාට තමන්ට ප්‍රශ්නයක් නැතැයි ද පවසා ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, 

‘අපට ප‍්‍රශ්නයක් නැහැ එයාට කනගාටුදායක උනාට. මට ප්‍රශ්නයක් වෙන්නේ අප ගන්නා ක්‍රියාමාර්ගවලින් රටට ජනතාවට කණගාටු හිතෙනවා නම් තමයි. ඒක විතරයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ.

ජාතික ලැයිස්තුවෙන් ඇවිත් මන්ත්‍රීකම් ගත්තු අයට තේරෙන්නේ නෑනේ ජනවරමේ අභිලාෂයන් ආරක්ෂා කිරීමේ උත්තුංග වැදගත්කම. ඒවා ඒගොල්ලන්ට දැනෙන්නෙ නැහැ.

ඒ ගොල්ලො කාට හරි බැලමෙහෙවරකම් කරලා ඒකට දැන් ලැබුණු තෑග්ගක් තමයි ඔය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය’