Language Switcher

V2025

ආණ්ඩුවේ හංචයියෝ මහ දවල් ඉඩම් මංකොල්ලයක - සජිත්

මහ දවල් මහවැලි ඉඩම් ඇතුලු ඉඩම් කොල්ලයක් සිදුවන බවත් ඒ පිටුපස සිටින්නේ ආණ්ඩුවට සම්බන්ධ හිතවතුන් බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට පොරොන්දු වූ කිසිවක් ආණ්ඩුව ඉටු නොකරන බවත්, අඩු තරමේ පාසැල් දරුවන්ගේ නිල ඇදුමවත් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර නැති බවත්  පැවසීය.
 
වෙනස හොඳද ?
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
 
"මම කැමතියි මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. මිත්‍රවරුනි , පහුගිය වසර එකහමාර තුළ වැදගත් ඡන්ද දෙකක් පැවැත්වුණා . ජනාධිපතිවරණය, මහමැතිවරණය .ඡන්ද  දෙකේම එකක 69 ලක්ෂයක , තව එකක 68 ලක්ෂයක විශාල ජනවරමක් ලැබුණා. ඒ ජනවරම ලබාදුන්නේ රටට ඵලදායී වෙනසක් ඇති කරන්න. දැන් වසරක් , වසර එක හමාරක් ගත වෙලා සිටින මේ මොහොතේ   ජනතාව ප්‍රශ්න කරන්නට ඕන ඇති වුණු වෙනස හොඳද ? ඔබතුමන්ලා ඇතිවුණු වෙනස පිළිබඳව තෘප්තිමත් ද? 
 
දැන් තමුන්නාන්සේලාට සිදුවෙන දේවල් දිහා බලනකොට සතුටුද ? මෙන්න මේ කරුණු කාරණා ප්‍රශ්න කරන්නට කාලය එළඹිලා තියෙන්නේ . මේ ජංගම සේවාව පවත්වන සූරියවැව බල ප්‍රදේශය මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලයක් සිදුවෙන බල ප්‍රදේශයක්.දැන් මේක ලෝක ප්‍රසිද්ධයි . මුළු ලෝකෙම දන්නවා සූරියවැව බල ප්‍රදේශයේ පොදු ජනතාවගේ ඉඩම් ,රටේ ඉඩම් ,රජයේ ඉඩම් අමු අමුවේ මහ දවල් කොල්ල කන ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මකයි කියලා . 
 
මහා ඉඩම් මංකොල්ලයක් !
 
මේ මහා ඉඩම් මංකොල්ලය නිසා ප්‍රදේශයේ ජනතාව දුකට පත්වෙලා සිටිනවා . රාජ්‍ය පාලනයට සම්බන්ධ ප්‍රබලයින්ගේ හිතවතුන්ට ,ගජ මිතුරන්ට මේ ප්‍රදේශයේ පොඩි මිනිහා සතු ඉඩකඩම් දුසිම් ගණන් බෙදා දෙනවා. වාණිජ කර්මාන්ත වාණිජ කෘෂිකර්ම යන වචන උපයෝගී කරගෙන මේ දැවැන්ත ඉඩම් මංකොල්ලය ක්‍රියාත්මක වෙනවා . රටේ  ජනතාව වරමක් ලබා දුන්නේ පාලකයින් ටත් පාලකයින්ගේ හිතවතුන්ටත් ගජ මිතුරන්ටත් මහවැලි ඉඩම් මංකොල්ල කන්නට නොවේ . දැන් අලි කළමනාකරණ රක්ෂිතයත් මංකොල්ලකාලා.  මහා පරිමාණයේ ගල් කොරි ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා, මහා පරිමාණයෙන් පස් ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා , වැලි ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා ,ලංකාවේ පරිසර දූෂණයේ ප්‍රධාන බල ප්‍රදේශය බවට සූර්යයවැව පත්වෙලා තිබෙනවා. දැන් නොකඩවාම මේ ප්‍රදේශයේ ජනතාව උපවාස කරනවා අලි කළමනාකරණ ඒකකය ගැසට් කරන්න. මොකක්ද මේක ගැසට් නොකරන්න හේතුව? නොකරන්න හේතුව තමයි ආණ්ඩුව මාන බලාගෙන සිටිනවා අලි කළමනාකරණ ඒකකයේ  ඉඩකඩම් සහ භූමිය තමන්ගේ  හිතවතුන්ට බෙදා දෙන්න. එකයි ගැසට් නොකරන්න එකම හේතුව. වාණිජ ව්‍යාපාර ආරම්භ කරනවා කියලා මහා දැවැන්ත ඉඩම් මංකොල්ලයක් ක්‍රියාත්මක වෙනවා. ඉඩම් මංකොල්ලයේ  කප්පිත්තෝ ටික අද මේ ආණ්ඩුව තුළ ඉඳගෙන ඉවක් බවක් නැතුව මහවැලියත් යටපත් කරගෙන මහාවැලියත් හවුල් කරගෙන මේ දූෂිත ඉඩම් මංකොල්ලය ක්‍රියාත්මක කරනවා . 
 
ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය !
 
මම කියනවා තමුන්නාන්සේලාට කියනවා මේ රජය කරන දුර්දාන්ත වැඩපිළිවෙළ නතර  නොකලොත් සමගි ජන බලවේගයේ අපි මුළු  සූරියවැව ප්‍රදේශයේ ම ජනතාව ගෙන්වලා මහා දැවැන්ත උද්ඝෝෂණයක් කරන්නට කටයුතු කරනවා කියන . තමුන්නාන්සේලා  සූදානම් වෙන්න අසාධාරණයට විරුද්ධව පාරට බහින්න . යුක්තිය  වෙනුවෙන් පාරට බහින්න . පාර්ලිමේන්තුවේ අපි යෝජනා කළා අලි කළමනාකරණ ඒකකය /අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්න කියලා . ඒක වෙන් කරන්න කියලා .ඇත්ත වශයෙන්ම  කිසිම සවන් දීමක් නෑ . කිසිම සානුකම්පිත භාවයක් නැහැ . මේ මහවැලි ඉඩම් රටේ ඉඩම් . රටේ  අයිතිකාරයො තමුන්නාන්සේලා . නමුත් දැන් පත්කරපු ඇත්තෝ  හැසිරෙන්නේ මේ ඉඩම්වල ඉඩම් වල අයිතිකාරයෝ හැටියට . හැමෝම මතක තබා ගත්තොත් හොඳයි ,මේ වසර පහකට හයකට සැරයක් මහජන නියෝජිතයෝ පත්වෙන්නේ තාවකාලික භාරකරුවන් හැටියට කටයුතු කරන්න . රටේ  අයිතිකරුවන් හැටියට කටයුතු කරන්නට නෙවෙයි . නමුත් අන්ත දූෂිත ඉඩම් මංකොල්ලය වහා නතර කරන්නට තමුන්නාන්සේලා පෙළ ගැසෙන්නට ඕන . සමගි ජන බලවේගය අපි ලෑස්තියි එකට නායකත්වය ලබා දෙන්න . මේ ඉඩම් මංකොල්ලයට අපි ඉඩ තබන්නේ නෑ . අපිත් මේ ප්‍රදේශයේ වැඩ කටයුතු කළා . පොඩ්ඩක් හොයලා බලන්න ,එක ව්‍යාපාරිකයකුට ඉඩම් අක්කර 10 ,15, 20, 30 අපි බෙදලා තියෙනවා ද ? කිසිම කෙනකුට දීලා නෑ . ඉඩමක් ලබා දුන්නා නම් ලබා දුන්නේ උදා ගම්මාන වල නිවසක් තනා ගැනීම සඳහා ඉඩමක්  නොමැති අනු පවුල්වලට. එච්චරමයි  ඉඩමක් ලබා දුන්නා නම් ලබාදුන්නේ . කිසිම පුළුල් ඉඩම් බෙදාදීමක් ,මහා පරිමාණයේ  conpany කාරයන්ට ඉඩම් ලබා දෙන්න  , 
 
කෝටිපතියන්ට ඉඩම් නොදුන්න යහපාලනය ! 
 
 කෝටිපති යන්ට ඉඩම් බෙදා  දෙන්න අපි කවදාවත් කටයුතු කළේ නැහැ . ඒක මම බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නේ .නමුත් අපිටත් වරදක් සිද්ධ වුණා .වැරදිත්  කියන්නට ඕන, වරද තමයි අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නට අපිට බැරි වුණා . අපි  හැම වෙලාවකම උත්සහ දැරුවා . අපි හිටියේ  දෙගොල්ලක් එකතු වුණු රජයක. අර එහා පැත්තේ එක්කෙනෙක් තමයි මහවැලි ඇමැති හැටියට කටයුතු කළේ .ඒ කටයුතු කරපු කාලයේ බොහොම කණගාටුයි අපි කියපු එක දේකටවත් සවන් දුන්නේ නෑ . ඒ නිසා තමයි අද වෙනකොට මේ රජයේ මහා ඉඩම් මංකොල්ලයක් එක්ක  වන අලි මිනිස් ගැටුම  බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙන්නේ . මත්තල ගුවන් තොටුපොළ,හම්බන්තොට වරාය ,සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකරනකොට හරියාකාර පරිසර ඇගයීමක් කළේ නෑ. හරියට හොයලා බැලුවේ නෑ . අලිමංකඩ ගැන තඹ සතේකට වත් ගණනක් ගන්නේ නැතුව තමයි මේ ව්‍යාපෘති හැදුවේ . වරාය ඕන,ගුවන්තොටුපළ ඕන ,ක්‍රීඩාංගන ඕන අපි මේවට එපා කියන්නේ නෑ . නමුත් ඒවා ඉදිකරන කොට පරිසර සංවේදී ව තිර සාරව ඒවා කරන්නට තිබුණා . නමුත් එහෙම කළේ නෑ .ඒ නිසා මිත්‍රවරුනේ සමගි ජන බලවේගයේ අපි  පරිසර සංරක්ෂණය වෙනුවෙන් පෙනී සිටිනවා,අපේ රටේ තිබෙන එකම හරිත පක්ෂය හැටියට .මේ පක්ෂය හරිත ප්‍රශ්න විසඳීමට  මුල්තැන ලබා දෙන පක්ෂයක් .ඒ වගේම තිරසර සංවර්ධනයට මුල්තැන ලබාදෙන පක්ෂයක් .එනිසා තමුන්නාන්සේලා සූදානම් වන්න පොදු ජනතාවගේ නිජබිම් විවිධ කල්ලි කණ්ඩායම් මංකොල්ල කන කොට සූර්ය වැවේ මහ ඉඩම්  මංකොල්ලයට විරුද්ධව ජනතාව නැගී සිට වන්නට අපි නායකත්වය ලබාදෙනවා පමණක් නොවේ මේ මහා ඉඩම් මංකොල්ලය නතර කිරීම අපි ජන සවියෙන් ජන බලයෙන් ඉටුකරනවා මයි කියන එක මම මේ අවස්ථාවේ සියලු දෙනාටම ප්‍රකාශ කරන්නට කැමතියි. 
 
ඇමති දක්ෂයි : මිල ඉහළයි !
 
ඒ වගේම බොහෝ දෙනෙක් මේ ස්ථානයේ බඩුමිල ගැන කතා කළා . මේ රජය පත් කරලා තිබෙනවා ඇමතිවරයෙක් ,ඇමතිවරයාව පුහුණු කරලා තියෙන්නේ විසි හතර පැයේම තුන්සිය හැටපස් දවසෙම රටට බඩු මිල ගැන බොරු කියන්න. ඒකට තමයි ඔහුට ඇමතිකමක් දීලා තියෙන්නේ .ඔහුට පඩියක් ගෙවනවා ,පහසුකම් ලබා දෙනවා , ඔහුට  කාර්යමණ්ඩලයක් ලබා දෙනවා ඔහුගේ රාජකාරිය තමයි බොරු කීම . බොරු කීමේ විශේෂඥවරයෙක් .දැන් මේ මනුස්සයා නේ කිව්වේ මාසෙකට ජීවත්වෙන්න 2500 ඇති කිව්ව විශාරදයා දැන් කියාගෙන යනවා ,පවතින මිල මෙච්චරයි ,මෙන්න අඩු කළා ,මෙන්න වෙනස ,යන්න සතොසට ගිහිල්ලා ගන්න .  දැන් මේ ජංගම සේවයෙන් ම මැසිවිල්ලක් නැගුනා කෝ අර පත්තරේ දාපු මිල ? සතොසට  වලංගු නැහැ නේ  ? සතොසේ බඩු නැහැලු. එහෙම නේද ? ඒ ප්‍රසිද්ධ කරපු මිල ගණන් වලට සතොසෙ සමහර බඩු නැහැ .දැන් ඔය ප්‍රසිද්ධ කරපු මිලට සතොසෙ සීනි තියෙනවද ? සහල් තියෙනවද ? මිත්‍රවරුනි මේ බොරු කියන ඇමතිවරයාට මම කියන්න කැමතියි  කරුණාකරලා බලන්න තමුන්නාන්සේ යටතේ තිබෙන සතොස ශාඛාවන් මේ කියන මිලට බඩු ටික ගන්න පුළුවන්ද බැරිද කියන කාරනාව . හැබැයි  මේ ඇමතිවරයා බොහොම දක්ෂයි වෙළෙඳ ඇමැතිවරයා හැටියට ගැසට් ගහන්න . 
 
ගැසට් එකට : මිල ඉහළට !
ගැහුව පරිප්පු වලට ගැසට් එකක් ,මොකද උනේ ?ගැසට් එක එක්කම පරිප්පු මිල ඉහළ ගියා.  ගැහුවා සැමන් ගැසට් එකක් .සැමන් ගැසට් එකෙනුත් සැමන් මිල ඉහළ  ගියා .හාල් වලටත් ගැහුව ගැසට් එකක් . හාල් මිලත් ඉහල ගියා . සීනි වලටත් ගැහුවා ,සීනි වලට ගැසට් එක විතරක් නෙමේ ආන්ඩුවම එකතුවෙලා රුපියල් බිලියන දහයක් ,මිලියන දහදාහක් හොරකං කරා.ඕක තමයි ඇත්ත කතාව . 
 
මේකද මේ රටේ ජනතාව පැතූ වෙනස ? මේ සැප වෙනුවෙන් ද ඡන්දෙ දුන්නෙ ? මේ වගේ කාලකන්නි සතුටක් ලබා ගැනීමට ද වරම ලබා දුන්නේ ? දැන්වත් රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඇස් හොඳට ඇරලා තමන්ගෙ ඇස් ඉදිරිපිට සිදු වන මේ ජාතික විනාශයට තවදුරටත් කරබාගෙන ඉන්නව ද රටේ ජනතාව ? ජාතික විනාශයක් සිද්ධ වෙන්නේ . නිල  ඇඳුම් ටික දෙන්නෑ පාසල් දූ දරුවන්ට . දූදරුවන්ට ම කියනවා තමන්ගේ අතේ වියදමින්ම අරගෙන එන්න කියලා ඒ පිරිසුදු කිරීමේ  ආම්පන්න.හැබැයි  පාර්ලිමේන්තුවේ අහනකොට කියනවා  "නෑ නෑ නෑ ඔක්කොටම නිල ඇඳුම් දීලා තියෙන්නේ " ඔක්කොම දූ දරුවන්ට නිල ඇඳුම් දීලා තියෙන්නෙ කියලා ඇමැතිවරයා කියනවා . Sanitizer සහ අනෙකුත් උපකරණ සඳහා මහා විශාල මුදල් ප්‍රමාණයක් පාසල් පද්ධතියට යවලා තියෙනවා කියලා අධ්‍යාපන ඇමතිතුමා කියනවා . ඉතින් මිත්‍රවරුනේ පාර්ලිමේන්තුව තුළ වායුසමීකරණය කරපු සභා ගර්භයේ, මට එක වෙලාවකට හිතෙනවා මේ ටයි කෝට් ඇඳපු අධ්‍යාපන ඇමතිවරයාට ඇත්තටම මහපොළොවෙහි දුක තේරෙනවද නැද්ද කියන එක . එතුමා බොහොම ලස්සනට ටයි එකයි කෝට් එකයි ගහගෙන මහාචාර්ය වරයා හැටියට හොඳ ඒ සී කරපු වාහනයකින් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බැහැලා ඒ සී කරපු සභා ගර්භයට ම ගිහිල්ලා කිසිම ඉවක් බවක් නැතුව කියනවා නිල ඇඳුම් දීලා ඉවරයි .
 
 නිල ඇඳුම් වැඩේ හරි. හැබැයි  සූරියවැවට එනකොට සූරියවැව අම්මලා සජිත් ප්‍රේමදාසට කියනවා කෝ නිල ඇඳුම් ? එතකොට සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට ගිහිල්ලා අහනවා "ඇමතිතුමනි  කෝ නිල ඇඳුම්? " ඇමතිතුමා කියනවා "ඒවා බෙදාගෙන යනවා/  බෙදලා ඉවරයි "  මොකක්ද මේ විකට රංගනය ? මොකක්ද මේ  විහිලුව ? මේ අනාථ කරන්නේ මේ රටේ සිසු දරු පරපුර නේද කියලා මම අහන්න කැමතියි . විහිළු කරන්නේ මේ රටේ පාසල් දූ දරුවන්ගේ ජීවිතත් එක්ක නේද කියලා  මං අහන්න කැමතියි.එනිසා අද නිල ඇඳුම් ලබාදීම විනෝද සමයක් බවට පත්වෙලා ,විහිලුවක්  බවට පත්වෙලා, විකට රංගනයක් බවට පත්වෙලා , අපේ ඇමැතිවරයා හොඳ රූකඩ රංගනයක් ක්‍රියාත්මක කරනවා . මහපොලොවෙ පාසල් දූ දරුවාගේ දුක කඳුළ වේදනාව එතුමට තේරෙන්නෑ . ඒ නිසා ඔබතුමාලට කියනවා පාසල් දූ දරුවාගේ අයිතිය වෙනුවෙන් අපි සටන් කරනවා.එපමණක් නොවේ බඩු මිල  පහළ දමන තෙක් රජයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව අපිට කල හැකි උපරිම ක්‍රියාදාමය කරලා බඩු මිල අඩු කිරීම සඳහා අපි රජයට උපරිම බලය යොදලා බලපෑම් කරනවා කියන එක . එසේ ප්‍රකාශ කරමින් අද ජංගම සේවාවට සහභාගි වුණු ඔබ සැමට ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා.