Language Switcher

V2025

බැසිල්ට එරෙහි පළමු නැගිටීම සූදානම් කළ උඩුවේ හිමි : දැන් හුඟාක් වෙනස් වෙලා !

උඩුවේ ධම්මාලෝක හිමි ගේ උපන් දිනය පසුගියදා සැමරූ අතර එහිදී උන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවේ  බැසිල් රාජපක්ෂ සම්බන්ධව සිදුකළ බව කියන ප්‍රකාශයක් මේ වන විට ආණ්ඩුවේ මෙන්ම විශේෂයෙන් ආණ්ඩුව නියෝජනය කරන "සෙසු පක්ෂ 11" පිරිසේ විමතියට හේතුවී ඇත.

අභ්‍යන්තර දේශපාලන  ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට උපන්දින සැමරුම අවස්ථාවේ උඩුවේ හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පවසා ඇත්තේ " මේ බැසිල් රාජපක්ෂ මහත්තයා වගේ තව කිහිපදෙනකු හිටියා නම් රට සුරංගනා ලෝකයක් වැනි සුඛිත මුදිත තැනකට පත්කරන්න  තිබුණා " යනුවෙනි.

මේ අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු රාජපක්ෂ පවුලේ සමීපතමයින්, උඩුවේ හිමියන්ගේ සමීපතමයින් සහ ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනකු සහභාගීව සිට ඇති බවත් වාර්තා වෙයි.

බැසිල් රාජපක්ෂ සම්බන්ධව උඩුවේ හිමියන්ගේ මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ " ජනාධිපතිතුමාට කියන්න විශේෂ කාරණයක් තියෙනවා " කියමිනි.

උඩුවේ හිමියන්ගේ මේ ප්‍රකාශය ගැන ආණ්ඩුව මෙන්ම  "සෙසු පක්ෂ 11" නියෝජනය කරන පාර්ශවවල  විමතියට හේතුවී ඇත්තේ මීට මාස 7-8කට පෙර උඩුවේ ධම්මාලෝක හිමි මීට හාත්පසින් වෙනස් ප්‍රකාශයක් බැසිල් රාජපක්ෂ සම්බන්ධව සිදුකර ඇති නිසා බවත් වාර්තා වෙයි.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මීට මාස කිහිපයකට පෙර ආණ්ඩුවේ  " සෙසු පක්ෂ 11" පාර්ශ්වය නියෝජනය කරන අමාත්‍ය විමල් වීරවංශ , අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල සහ මන්ත්‍රී ටිරාන් අලස් කැඳවා ඇති උඩුවේ ධම්මාලෝක හිමි දැඩිව බැසිල් රාජපක්ෂ ගේ ක්‍රියාකලාපය විවේචනය කළ බවය. ඒ " බැසිල් කරන වැඩ , එයාගෙ හැසිරීම කොහෙත්ම අනුමත කරන්න බෑ.

හැමදේටම එයා ඇඟිලි ගහන්න අරගෙන , කාටවත් කිසිම දෙයක් කරන්න දෙන්නේ නෑ .ඒ නිසා ඉස්සරහට අපි සාමූහික ක්‍රියාමාර්ග වලට යන්න වෙයි. ඔබතුමන්ලාටත් ප්‍රශ්න ඇති එයාගෙන් . ඒ නිසා අපි ඒ වැඩ වලට විරුද්ධ බලවේගයක් විදියට වැඩ කරන්න ගන්න ඕන" යනුවෙනි.

ඒ අනූව ආණ්ඩුව තුළ පාර්ශ්වයන් අතර තිබූ බැසිල් රාජපක්ෂ සම්බන්ධ කළකිරීම විරෝධයක් බවට පත්කරන යෝජනාව සාකච්ඡා මේසයට ගෙනවිත් ඇත්තේ උඩුවේ හිමියන්ගේ යෝජනාව සමගිනි.

කෙසේ වුවත් උඩුවේ හිමියන්ගේ මාස කිහිපයක් තුළ ක්ෂණික වෙනස් වීම ගැන පිරිස සොයා බලා ඇති අතර එහිදී දැනගන්නට ලැබී ඇත්තේ බැසිල් රාජපක්ෂ සම්බන්ධව උඩුවේ හිමියන් කලකිරීමෙන් සිටින බව බැසිල් රාජපක්ෂ වෙත ද දැනගන්නට ලැබී ඇති බවය.

ඒ ඔහුගේ බිරිඳ හරහාය. එම දැනගැනීම අනුව බැසිල් රාජපක්ෂ වහාම උඩුවේ හිමියන් බැහැදැකීමට ගොස් ඇත. එහිදී ආගිය තොරතුරු ,ඉදිරි කටයුතු ගැන කතා කරන අතර වාරයේ උඩුවේ හිමියන් වැඩ වාසය කරන ඇලන් මැතිනියාරාම විහාරයේ ආවාසය සහ බණ ශාලාවේ සිදුකිරිමට අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ගැන බැසිල් රාජපක්ෂ වෙත පවසා ඇත.

එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇති බැසිල් රාජපක්ෂ විසින් දුරකතනය හරහා තම අතිශය හිතවත් ව්‍යාපාරිකයකු අමතා "අපේ හාමුදුරුවන්ගේ වැඩක්.." කියා අවශ්‍ය දැනුම්දීම සිදුකර ඇත.

වාර්තා වන ආකාරයට උඩුවේ හිමියන්ගේ ක්ෂණික පැහැදීම සිදුව ඇත්තේ ඒ ක්ෂණික ප්‍රතිචාරයත් අවශ්‍ය කාර්‍යයත් ඉටුවීම හමුවේය. අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 18ක් වැනි ප්‍රමාණයක් වැයවී ඇති බවත් වාර්තා වෙයි.