අනාෆ් ජසීම් කවියාගේ නිදහස : නීතිපතිට සති දෙකක් !

අනාෆ් ජසීම් කවියාගේ නිදහස : නීතිපතිට සති දෙකක් !

අත්අඩංගුවට ගෙන මාස 10 ක් තිස්සේ කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකර පොලිස් රැදවුම්බාරයේ රදවා තබා සිටින මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වහාම මුදාහරින ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නීතිපතිවරයාට නියෝග කළේය.

සාහිත්‍යය නිර්මාණ හරහා මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දුන් බව ට සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදි අධිකරණය මෙම නියෝගය කරන ලදී.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කියා සිටියේ මෙම පෙත්සම පිළිබද නීතිපති සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ කේ.කනග් ඊස්වරන් කියා සිටියේ පෙත්සමේ යතුරු ලියන දෝෂ කිහිපයක් ඇති බැවින් ඒවා නිවැරදි කිරීමට අවසර ලබා දෙන ලෙසය.

අධිකරණයෙන් ඊට අවසර ලැබිණි.

මෙම පෙත්සම ලබන අගොස්තු 04 වැනි දින කැදවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් තුන ගොනු කරන්නැයිද නීතිපති ට නියම කළේය.

මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ , පොලිස්පති , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරු කවියෙකි .කෙටිකතාකරුවෙකි.ලේඛකයෙකි.පෙත්සම්කරු ළමා කාලයේ සිටට ලේඛන නිර්මාණකරණයේ නිරතව සිටි අයෙකි.ඒසේම ඔහු සිය නිර්මාණ වෙනුවෙන් සම්මාන අගැයුම්ද ලබා ඇත්තෙකි.ඔහු කිසිවිටෙක සිය නිර්මාණ තුළින් අන්තවාදය හෝ ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කර නොමැත.

පෙත්සම්කරුව සියි නිවිසේ සිටියදී 2020 වසරේ මැයි 06 වැනිදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණි අත්අඩංගුවට ගෙන ඇත.

පෙත්සම්කරු ගේ නිර්මාණ තුළින් මුස්ලිම් අන්තවාදයට සහ ළමා හිංසනයට සහයෝගය ලබා දීම යන්න ඔහුට එරෙහිව චෝදනා වශයෙන් ඉදිරිපත් කර තිබිණි.පෙත්සම්කරුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් රැදවුම් නියෝග යටතේ රදවා තබා ගෙන ඇත.

දැනට මාස 10කට ආසන්න කාලයක් ගෙවී ඇතත් පෙත්සම්කරුව කිසිදු මහේසත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර නොමැත.මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , තමන් රැදවුම් බාරයෙන් වහාම මුදා හැරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න