Language Switcher

V2025

බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් !

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය අද ජුලි 06 රාත්‍රී නිකුත්වීමට නියමිතව තිබෙනවා.

බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය, නිකුත්කිරීමට නියමිතව ඇත්තේ හෙට දහවල් කාලයේ.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට බැසිල් රාජපක්ෂ ජුලි 08 දා පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමට පෙර, ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ මුදල් අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිතයි.

මීට පෙර වාර්තා වූයේ බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටි බවයි.

එහෙත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ යෝජනා කර තිබුණේ සෑම අමාත්‍යාංශයක් සඳහාම මැදිහත් වියහැකි ආකාරයට මුදල් , ආර්ථික සංවර්ධන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය බවයි.

නමුත් පසුව මුදල් අමාත්‍ය ධූරය සඳහා පමණක් එකඟතාවට පත්කර ගෙන තිබෙනවා.

මේ අතර බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද ජුලි 06 උදැසන පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදෙනු ලැබුණත්, ඊට අදාළ සාකච්ඡා දින ගණනාවක් ඇදී ගිය බවත් වාර්තා වනවා.

ඒ බැසිල් රාජපක්ෂට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත් වීමට, ජාතික ලැයිස්තුවට පත්කළ කිහිපදෙනෙකුම යහපත් ප්‍රතිචාරයක් දක්වා නොතිබූ නිසයි.

එවැනි සාකච්ඡාවලදී ෆලීල් මර්ජාන්, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහට ඉල්ලා අස්වැන්නයි ඉල්ලීමක් කර තිබුනේ, ඔහුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා ද යෝජනා කරමින්.

නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ,

''එහෙනම් මම ගෙදර යන්නම්.. මට ඔය රටරට වල යන්න දැන් වයසක් නැහැ..'' යයි කියමින් .

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් ඉල්ලා අස්වීමට අකමැත්තක් නැතිබවක් පවසා තිබුනත් අගමැතිවරයා ඊට අනුකුලතාවයක් දක්වා නොතිබුණු බවත් වාර්තා වනවා.

මෙම මොහොමඩ් ෆලීල් මර්ජාන් මෙන්ම ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ද ජාතික ලැයිස්තුවට නම්කර තිබුනේ අගමැතිවරයාගේ නිර්දේශය මතයි.

අවසානයේ ජයන්ත කැටගොඩ මෙන්ම මහාචාර්ය රන්ජිත් බණ්ඩාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඉල්ලා අස්වීමට එකඟතාවය පළකර තිබෙනවා.

කෙසේ හෝ තමන් වෙනුවෙන් මන්ත්‍රී ධුරය පරිත්‍යාග කළ ජයන්ත කැටගොඩ වෙත, ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යලි ගම් මට්ටමින් ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම පැවරීමට බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි ද , එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

එසේම ඉදිරියේදී තමන් විසින් යෝජනා කරන ආර්ථික සැලසුම් වලදී ආණ්ඩුව නියෝජනය කරන විමල් පාර්ශවයේ ජාතිකවාදීන් වෙතින් බලපෑම් එල්ලවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට තීන්දුකර ඇති පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අවශ්‍ය ඕනෑම මොහොතක දී ඕනෑම චන්දයකට මුහුණදීමට හැකිවන ආකාරයෙන් පක්ෂ යාන්ත්‍රනය සුදානම් කිරීමේ වගකීම ජයන්ත කැටගොඩ ට හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහට පවරා ඇතැයි ද වාර්තා වනවා.

දේශපාලන වාර්තාකරු