Language Switcher

V2025

ඇමති විමල්ගේ ඇමරිකානු විරෝධය සංශෝධනය වෙයි !

කෙරවලපිටිය විදුලි බලාගාරය කොටස් ප්‍රමාණයක් ලබාදෙන්නේ ඇමරිකාවට නොව ඇමෙරිකානු සමාගමකට බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ අනාවරණය කරයි.

එසේ දෙනු ලබන්නේද මුදල් අමාත්‍යාංශය සතු කොටස් පමණක් බවත් විදුලිබල මණ්ඩලය සතු කොටස් නොවන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

රට මේ මොහොතේ මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව ද ඇමතිවරයා සඳහන් කර ඇති අතර ඒ කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

‘ඇමරිකාවට දීමක් නෙවෙයි ඇමරිකානු සමාගමකට දීමක් තමයි ඇත්තටම දීළා තියෙන්නේ. ඇත්තටම මුදල් අමාත්‍යශය සතු කොටස් විතරයි දීල තියෙන නේ. නැතුව විදුලිබල මණ්ඩලය සතු කොටස් නෙවෙයි දීල තියෙන්නේ . රට මුහුණදීලා තියෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව තමයි මේක සාධාරණීකරණය කරන්න ජනාධිපතිතුමා කියල තියෙන්නේ ‘ යනුවෙන් එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා ඇත.

සංශෝධිත ඇමරිකානු විරෝධය !

අමාත්‍යවරයාගේ මේ අදහස් දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ ඇමරිකානු විරෝධය සංශෝධනය කරගෙන ඇති බවයි. කලක් විමල් වීරවංශ ඇතුළු මෙරට ජාතිවාදී පාර්ශව ඇමරිකානු ආණ්ඩුව සහ ඇමරිකානු සමාගම් කියා බෙදීමක් කර විරෝධය දැක්වූයේ නැත. ඔවුන් සිදුකළේ ඇමරිකානු අධිරාජ්‍යවාදය කියා ඇමරිකාවට පමණක් නොව සමස්ත බටහිර රාජ්‍ය සම්බන්ධව විරෝධය දැක්වීමය.

ජාත්‍යන්තරය සමඟ යහපත් සම්බන්ධතා පැවැත්වූ දේශීය දේශපාලනඥයන්ට ගැහුවේ ඇමරිකාවේ දේශීය ඒජන්තයන් කියාය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අධිරාජ්‍යවාදී නියෝජිතයා ලෙස හැඳින්වූයේද , වඩාත් මෑත වකවානුවේ MCC ගිවිසුමක් ගැන කියමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරටත් ඇමරිකානු චෝදනාව එල්ල කලේද ඒ පදනමින්ය. ඒ විරෝධය රටට හානි කළේ MCC වැනි ඩොලර් මිලියන ගණනක ප්‍රදාන ප්‍රතික්ෂේප කරමිනි.

ඒ පසුබිමේ ඇමති විමල්ගේ මේ ඇමරිකානු විරෝධයේ සංශෝධිත ආකාරය හොඳය. දැන් ඇමරිකාව අකැප වුනාට ඇමරිකානු සමාගම් කැපය. පේන ආකාරයට නම් තවත් ගොඩක් සංශෝධන සඳහා විමල් ඇමති හිත හදාගෙනය.