Language Switcher

V2025

පොලීසිය ගැන විශ්වාසය කඩා වැටීම භයානක තත්වයක් - හිංසනයට එරෙහි කාන්තා එකමුතුව

පොලීසිය ගැන විශ්වාසය කඩා වැටීම භයානක තත්වයක් බව හිංසනයට එරෙහි කාන්තා එකමුතුව සඳහන් කරයි.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ (19) පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරීනි චමිලා තුෂාරි, අලුත් පියාපත් සංවිධානයේ ව්‍රායි බල්තසාර්, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ලවීනා හසන්ති, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, මුස්ලිම් කාන්තා පර්යේෂණ කේන්ද්‍රය රස්මිනා හුසේන් ඇතුළු පිරිස ඒ සඳහා එක් වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.

Dr. Harini Amarasuriya 2021.07.19

ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය

“පහුගිය කාලය තුළ සිදුවුණු සිද්ධි එක්ක හිංසනයට එරෙහි කාන්තා එකමුතුව හැටියට අපි මෙම මාධ්‍ය හමුව පවත්වනවා. පසුගිය කාලය තුළ විවිධ පැමිණිලි රාශියක් පොලීසියට විරුද්ධව ලැබී තිබෙනවා. කාන්තාවන් අරගල කරන අවස්ථාවලදී පොලීසියේ හැසිරීම ගැන විශේෂයෙන් අවධානය යොමුවුණා. මේ මාසයේ 08වැනිදා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු සහ කොතලාවල පනත විරුද්ධව පැවති විරෝධතාවයේදී පොලීසිය ඉතාමත්ම කැත විදිහට ස්ත්‍රීන්ට සලකපු විදිහ අපි දැක්කා. ඇඳුම් ඉරමින්. ඇදගෙන යමින් පහර දෙමින් ක්‍රියාකළ ආකාරය රටම දැක්කා. නමුත් ඒක විතරක්ම නෙවෙයි, පොලීසිය ඇතුළෙදි වුණත් ස්ත්‍රීන්ට සලකපු විදිහ මාධ්‍ය තුළින් වාර්තා වුණා. පැමිණිල්ලක් කරන්න ගිය කාන්තාවන්ට පාදුක්ක පොලීසියේදී මුහුණපාන්න වුණු සිද්ධිය ඇතුළු රාශියක් මේ කාලය තුළ මතුවුණා. මේ තත්වය ඉතාමත්ම බැරෑරුම් ලෙස ගත යුතු තත්වයක්. පවතින තත්වය ගැන මෙයට මාසයකට පෙරත් මම මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැන්වූවා. පොලීසියට මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස එයින් ඉල්ලීමක් කළා.

පොලීසිය ඉන්නේ අපිව ආරක්‍ෂා කරන්න. අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන තැන පොලීසිය. ළමා හා කාන්තා ඒකකය කියලා පොලීසිය තුළ වෙනම අංශයකුත් තියෙනවා. එතැනට ස්ත්‍රීන් හෝ ළමයින් යන්නේ ආරක්‍ෂාවක් බලාපොරොත්තුවෙන්. ඒ තුළ ඉන්න අය මේ ආකාරයට හැසිරෙනකොට පොලීසිය සහ ඒ ආයතන පද්ධතිය පිළිබඳව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. පොලීසිය තුළට යන ළමයින්ට හා කාන්තාවන්ට ලැබෙන ප්‍රතිචාර අනුව ඒ තුළ පවා මිනිස්සුන්ව මර්දනය කරන තත්වයකට පත්වීම අතිශයින්ම භයානකයි. පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කරන්න නෙවෙයි, මිනිස්සුන්ගේ ආරක්‍ෂාවට. පොලීසිය ගැන ඒ විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක්. පොලීසියේ තියෙන මේ සංස්කෘතිය අතිශයින්ම බරපතළ ප්‍රශ්නයක්. ස්ත්‍රී විරෝධී සහ ස්ත්‍රී හිංසනවාදී අදහස් පොලීසිය තුළදී මතුවීම මේ කාලය තුළ අපි හැමෝටම පෙනුණා. මේවා හමුදා පුහුණුව දීලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. පොලීසිය කොfාහමද ප්‍රජාව එක්ක ගනුදෙනු කරන්නේ කියන එක පැහැදිලි කර දීමේ ලොකු වගකීමක් සරත් වීරසේකර ඇමතිතුමාට තියෙනවා. ඔහුගේ අවධානය ඒ ගැන යොමු කරන්න කියලා අපි ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”

Chamila Thushari 2021.07.19

පොලීසිය කාන්තාවන්ට එපාම කරපු තැනක් බවට පත්කරලා තියෙන්නේ… ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරීනි චමිලා තුෂාරි

“ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඉන්න පොලීසිය විසින් කාන්තාවන්ට සිදුකරන අඩන්තේට්ටම් නිදහස් වෙළඳ කලාපය සම්බන්ධයෙන් ඉතාමත්ම හිංසනකාරීයි. නිදහස් වෙළඳ කලාපයේ වැඩ කරන කාන්තාවන් තමන්ට තිබෙන ගැහැට පිළිබඳව පොලීසිය ගැන විශ්වාසයක් නැති නිසාම පැමිණිලි කරන්නේ නැහැ. මේ කලාපයේ පැය 24ම වැඩ කරන කාන්තාවන්ට කිසිම සුරක්‍ෂිතතාවයක් නැහැ. යම් දේකට පොලීසියට යනවා නම් ගේට්ටුව ළඟ ඉඳන්ම තමන්ට සිදුවූ දේ ගැන කියන්න සිදුවෙලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම රහස්‍යභාවයක් නැහැ. මේ නිසා කාන්තාවෝ බොහෝ අසාධාරණකම්වලට ලක්වෙනවා. නිදහස් වෙළඳ කලාප ක්‍රියාත්මක වන ස්ථානවලට පැය 24 ක්‍රියාත්මක වන පොලීසියක් අවශ්‍යයි. පොලීසිය තුළ පවතින ළමා හා කාන්තා ඒකකය උදේ 8 ඉඳලා හවස 5 වනතුරු විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අනික් පැත්තෙන් පැමිණිල්ලක් කරන්න ගියාම තරුණ කාන්තාවන්ට පොලීසියෙන් අනියම් සම්බන්ධතා පටන් ගන්න උත්සාහ කරනවා. නිදහස් වෙළඳ කලාපය තුළ සිදුවන හිංසනයන් ගැන පැමිණිලි කරන්න බැරි තරමට කාන්තාවන් හෑල්ලුවට ලක්වෙනවා.

ළමා හා කාන්තා කාර්යාංශය එක් වෙලාවකදී බෞද්ධ කටයුතු අමාත්‍යාංශය යටතට පත්කළා. ඒ වැඩවල ප්‍රායෝගික තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. කොවිඩ් නිසාම පීඩාවට පත්වෙලා ඉන්න හැම ක්‍ෂේත්‍රයේම කාන්තාවන් බැරෑරුම් තත්වයක ඉන්නේ. මහ බැංකු වාර්තා අනුව මේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය කාන්තාවෝ කියලා හඳුන්වන්නේ. නමුත් යම් පැමිණිල්ලකට හෝ වෙනත් කටයුත්තකට පොලීසියට ගියාම සලකන්නේ ඒ වටිනාකමකින් නෙවෙයි. පොලීසිය කාන්තාවන්ට අන්තිම එපා කරපු තැනක් බවට පත්කරලා තියෙන්නේ. මේ තත්වය වහාම වෙනස් කරන්න මැදිහත් වෙන්න කියලා වගකිවයුත්තන්ට බල කරනවා.”

Vraie Balthazawr 2021.07.19

ජාතික ආරක්‍ෂාව ගැන ලොකුවට කතා කරන ආණ්ඩුවක් යටතේ කාන්තාවගේ ආරක්‍ෂාව තියෙන්නේ කොතැනද?…අලුත් පියාපත් සංවිධානයේ ව්‍රායි බල්තසාර්

“කොවිඩ් එක්කම ලංකාවේ තවත් ඉතා භයානක වසංගතයක් පැතිරෙමින් තිබෙනවා. අපි ඒකට කියන්නේ සැඟවුණු වසංගතයක් කියලා. මේ වසංගතය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය. කොවිඩ් වසංගත කාලය පුරාම මේ තත්වය දකින්න පුළුවන්. මේ තත්වය සංඛ්‍යාත්මකවත් එළිදැක්වී තිබෙනවා. 2020දී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධයෙන් පැමිණිලි 5561ක් ලැබිල තියෙනවා. 1938 දුරකතනය ඔස්සේ ලැබෙන පැමිණිලි පමණයි. මේ 2021 වර්ෂයේ මාර්තු මාසය වනවිට මේ පැමිණිලි ප්‍රමාණය 1227ක් වී තිබෙනවා. මම මේ කියන්නේ පොලීසිවලට ලිඛිතව ලබාදුන් පැමිණිලි නෙවෙයි. දුරකතනය ඔස්සේ කර තිබෙන පැමිණිලි. මේ සංඛ්‍යාවෙන්ම හිතාගන්න පුළුවන් කොතරම් නම් ප්‍රචණ්ඩත්වයක් තිබෙනවාද කියලා. අපිට අනෙක් පැත්තෙන් හිතාගන්න පුළුවන් පොලීසියට නොලැබෙන පැමිණිලි අප්‍රමාණයි කියලා. පොලීසිය සහ නීතිය ගැන තිබෙන අදහස් නිසා පිළිසරණක් නොලැබෙන බව හිතන නිසාම නොකරන පැමිණිලි තිබෙනවා.

තව පැත්තකින් කොවිඩ් වසංගතයත් එක්ක මාතෘ සායනවලට එන අවුරුදු 18ට අඩු දැරිවියන් ප්‍රමාණය 5%-7%ත් අතර වගේ ඉන්නවා. අවුරුදු 18ට අඩු නම් අපි කියන්නේ දරුවන් කියලා. එයින් අදහස් කරන්නේ දරුවන්, දරුවන් ලබනවා කියලා. ඔවුන් ඉන්න ගෙවල්වල සමීපතමයන්ගෙන් ඇතිවන ලිංගික අපයෝජන නිසා මේ තත්වය අතිවී තිබෙනවා. මේ වගේ ප්‍රශ්නවලදී ගෙදර ඉන්න ස්ත්‍රිය පොලීසියට ගියාම ඇතිවන තත්වය ඉතාම බරපතළයි. සමහර දේවල් පැමිණිල්ලේදී කියාගන්නත් බැරි වෙනවා. ඒ වගේම සයිබර් අපරාධවලටත් කාන්තාවන් සහ ළමුන් ලක්වෙනවා. ලංකාවේ බහුතරයක් කාන්තාවන් වූ අයට නීතිඥයෙක් හොයාගෙන පොලීසියට යන්න වත්කමකුත් නැහැ. පොලීසියට යන්නේ බයකින්. නමුත් පොලීසියේදී කියන්නේ පීඩනයන් දරාගෙන ඉන්න කියලයි. ස්ත්‍රීන් ගෙදරත් අසරණ වෙනවා. පිළිසරණක් හොයාගෙන යන පොලීසියේදීත් අසරණ වෙනවා. ස්ත්‍රියට තියෙන ආරක්‍ෂාව හරිම අඩුයි. අපයෝජන ගැන නඩු අවුරුදු ගාණක් ඇදීගෙන යනවා. ජාතික ආරක්‍ෂාව ගැන ලොකුවට කතා කරන ආණ්ඩුවක් යටතේ කාන්තාවන්ගේ ආරක්‍ෂාව තියෙන්නේ කොතැනද? පොලීසියට ගියාම ඇතිවන තත්වයන් ගැනත් ගෘහස්ථව ඇතිවන තත්වයන් ගැනත් දැඩි අවධානය යොමුවිය යුතුයි. ආණ්ඩුවක වගකීම තමයි පොලීසියට අදාලව ව්‍යූහාත්මක පහසුකම් සපයන එක. එහෙම නැතිව ජාතික ආරක්‍ෂාව ගැන ලොකුවට කතා කරලා බලයට ඇවිත් 52%ක් ඉන්න කාන්තාවන් සම්බන්ධයෙන් ආරක්‍ෂාව කොහෙද තියෙන්නේ කියන එක කල්පනා කරන්න ඕනෑ.”

Lavina Hasanthi 2021.07.19

සංචරණ කාලයේ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන ගිහිල්ලා පොලී ඉල්ලලා බලකරන්නේ කොහොමද?…ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ලවීනා හසන්ති

“ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සංකල්පය තුළද අද ලංකාව ක්‍රියාත්මක වෙන්නේ? රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කරන්නේ ඒ ආයතනවලට අදාළ කටයුතුද එහෙම නැත්නම් පවතින ආණ්ඩුවේ දේශපාලනයට අදාල කටයුතුද කියන බරපතළ ප්‍රශ්නය තියෙනවා. විශේෂයෙන්ම පොලීසිය වැනි ආයතනවලට ක්‍රියාකාරිත්වය බරපතළයි. පරමාධිපත්‍යයක් තිබෙන කාන්තාවන්ට කෙසේද සලකන්නේ? මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සුළු පන්න ධීවර කර්මාන්තය සහ ධීවර ජනතාවගේ ජීවිත ආශ්‍රිතව ඉදිරිපත් කරනවා.

කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ලත් ඇතිවී සුළුපන්න ධීවර ජනතාව සහ ධීවර කාන්තාව පීඩනයකට පත්වී ඉන්නවා. ඒ වගේම උතුරු නැගෙනහිර තවත් කඳවුරු 10ක පමණ කාන්තාවන් සහ ගෘහ මූලික කාන්තාවන් ඉන්නවා. මේ සියලුම දෙනාගේ ජීවන මාර්ග බිඳවැටිලා තියෙන්නේ. ජීවිත ගොඩනගාගන්න ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ගෙවාගන්න බැරි තත්වයක ඉන්නේ. තන්ගේ කරවල ටික වේලගන්න බැරිව කුඩා ව්‍යාපාර කරගෙන යන කාන්තාවන්ට බරපතළ තත්වයක් තියෙන්නේ. මේ නිසා හැම පැත්තෙන්ම තාඩනයට පීඩනයට ලක්වෙන්නේ අම්මා කියන කාන්තාව. මේ වසංගතය තුළ දරුවන්ගේ අධ්‍යාපනය නිසි පරිදි කරගෙන යන්න ඔවුන්ට අවශ්‍ය උපකරණ සහ වෙනත් පහසුකම් නැහැ. එදා වේල හම්බකරගෙන කන්න බැරිවෙලා ඉන්නේ. සුළුපන්න ධීවරයාට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත්වීමෙන් තවත් විශාල පහරක් වැදුණා. ඔවුන් වෙනුවෙන් අදාල සාධාරණත්වය ලබාදෙන්න තවම ක්‍රියාකර නැහැ. ඔවුන්ගේ ධීවර ආම්පන්නවලට සිදුවූ හානිවලට වන්දි දෙන්න යන්නේ ධීවර පවුල් 2500කට. මේ නිසා ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සමාගම්වලින් ණය ගන්න සිදුවෙලා තියෙනවා. සතිපතා පොලිය ගෙවන්න ඕනෑ. ගෙවාගන්න බැරිවෙනකොට ලිංගික අල්ලස් ඉල්ලනවා. සංචරණ කාලසීමාව තුළ මූල්‍ය ආයතන ගිහින් පොලී ඉල්ලන්නේ කොහොමද? මේ ගැන ක්‍රියා කරන්න ඉඩකඩ ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට දී තිබෙනවා. ලක්‍ෂ 28ටක වැඩිය ඒ මූල්‍ය සමාගම්වලට ණයකරුවන් කාන්තාවන්.

මෙවැනි පීඩනයන් සිද්ධ වෙද්දී මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් මොනවාද කරන්නේ? ප්‍රශ්න දරාගන්න බැරිව පාරට බැස්සාම කොවිඩ් නිරෝධායන නීති පාවිච්චි කරලා කාන්තාවන් දැඩි මර්දනයකට ලක් කරනවා. ගරු ජනාධිපතිතුමාගෙන් අපි අහන්න කැමතියි, ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්ම මේකද කියලා. කාන්තාවන්ට අත තියලා කරන්න යන්නේ මොකක්ද කියලා අපි අහන්න කැමතියි. අවතැන් කඳවුරුවල ඉන්න කාන්තාවන්ට තවමත් මූලික පහසුකම් නැහැ. මේවාට කවුද උත්තර දෙන්නේ? මෙවැනි වාතාවරණයක් තුළ තමයි කාන්තාවන්ගේ ආරක්‍ෂාව අපි ඉල්ලන්නේ.”

Saroja Polraj 2021.07.19

ආණ්ඩුවට පක්‍ෂපාතී බව පෙන්වන්න පොලීසිය යුක්තියට පයින් ගහනවා…ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ සරෝජා සාවිත්‍රී පෝල්රාජ්

“අපේ රටේ විවිධ ස්ථනවලදී කාන්තාවන්ව පාවිච්චි කිරීම සිදුකරනවා. අධ්‍යාපන ආයතනවලදී දරුවන්ව, සෞඛ්‍ය පහසුකම් ලබන අවස්ථාවලදී රෝගීන්ව පොදු ප්‍රවාහන මාධ්‍යයේදී මගීන්ව දේශපාලනයේදී සෘජුවම කාන්තාවන් හැටියට සහ ආර්ථිකයේදී වෘත්තිකයෙක් හැටියට ආදී වශයෙන් හිංසනයට ලක්වෙනවා. මේ නිසා විවිධ ක්‍ෂේත්‍රවල පවතින හිංසනයන් පොදුවේ ගත්තාම එකම තැනකදී විරෝධය පළ කරන්න අවශ්‍ය තත්වයක් තිබෙනවා. පසුගිය දිනවල කොතලාවල විශ්වවිද්‍යාල පනත, බඩුමිල ඉහළ දැමීම, ඉන්ධන ගැටලුව, පොහොර ප්‍රශ්නය මේ හැම තැනකදීම අරගලවලට යොමුවූ කාන්තාවන්ට විරුද්ධව පොලීසිය ක්‍රියාකළ නින්දිත ආකාරය පිළිබඳව සංවිධානයක් හැටියට අපි තරයේ විරෝධය පළ කරනවා. ලංකාවේ 1938 අංකය ලබාදී තිබෙනවා, හදිසි ඇමතුම් සඳහා. ඒවගේම ළමා හිංසනය සම්බන්ධයෙන් දැනුම් දෙන්න දුරකතන අංකත් ලබාදී තිබෙනවා.

මේ හැම අවස්ථාවකදීම ක්‍රියා කරන්නේ පොලීසිය. හැබැයි ඒ පොලීසිය මහමගදී කාන්තාවන්ට සැලකූ ආකාරය අපි දැක්කා. පොලීසිය නීතිය අනීතිකව ක්‍රියාත්මක වෙන්නේ බලවත් ආණ්ඩු පිරිහෙන්න පටන් ගත්තාම. අනීතිකභාවයට එවැනි ආණ්ඩු වරප්‍රසාද ලබාදෙන, නීත්‍යානුකූලභාවය ලබාදෙන සහ සාධාරණීකරණය කරන තත්වයට පත්වෙනවා. ආණ්ඩුවට පක්‍ෂපාතී නිලධාරීන්ට උසස් වරප්‍රසාද ලබාදෙනවා. මේ නිසා ආණ්ඩුවට පක්‍ෂපාතී බව පෙන්වන්න පොලීසියේ ඉහළ නිලධාරීන් යුක්තියට පයින් ගහනවා. තමන්ගේ සේවය ලැබිය යුතු සේවාලාභීන්ගේ යුක්තියට පයින් ගහලා නිලය උසස් කරගන්න උත්සාහ කරනවා. අපි පහුගිය කාලය තුළම දැක්කේ මේ තත්වය. හාමුදුරුවරුන්ට, අම්මාවරුන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට මර්දනය එල්ල කිරීමෙන් අපි දකින්නේ යුක්තියට පයින් ගහපු අවස්ථාවකි.

#lkමේ තත්වය තුළ මානව සංවර්ධන දර්ශකයේ අපි කොතනද ඉන්නෙ? සමාජ ආරක්‍ෂණය සහතික කළ යුතුම පොලීසිය අමාත්‍යවරයාගේ පූර්වාදර්ශ අනුව ක්‍රියා කරමින් ඉන්නවා. මහමගදී අනීතිකව හැසිරුණු නිලධාරීනට අද වෙනතුරු නීතිය ක්‍රියාත්මක කර නැහැ. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ඉල්ලලා නැහැ. ආණ්ඩුවක් හැටියට ඒ ස්වාමින් වහන්සේලාගෙන්, අම්මාවරුන්ගෙන් සහ ඒ දැරිවියන්ගෙන් සමාව ගත යුතුව තිබෙනවා. හිංසනයට එරෙහි කාන්තා එකමුතුව හැටියට අපි මේ වෙලාවේ ආණ්ඩුවට බල කරන්නේ අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ගත යුතු බව. එක රටක් එක නීතියක් කියල බලය අරගෙන සැමට සාධාරණය ඉටු නොකරනවා නම් අනීතිකභාවය රජකරන තත්වයක් ඇති වෙනවා. නීතිය තිබුණාට විතරක් මදි, නීතියට යුක්තියක් ඕනෑ. සංවිධානයක් හැටියට අපි අවධාරණය කරන්නේ නීතිය යුක්තිගරුකව ඉටුකරන ලෙසයි. නීතිය ජනතාවට යුක්තිගරුක වෙන්න ඕනෑ. ජනතාව යුක්තිගරුක වීම විතරක් මදි. ආර්ථීක, සාමජ දේශපාලනික කාරණාවලදී රටක් හැටියට යුක්තිගරුක වෙන්න ඕනෑ. උතුරේ විද්‍යා දැරියගේ පටන් වයස අවුරුදු 5ක සේයා දැරිය දක්වාත් දැන් කතා කරන අවුරුදු 15ක දැරිය දක්වාත් ඇතුළු සියලුම දැරියන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවිය යුතුයි. ඔවුන් සියලු දෙනාම සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ආරක්‍ෂාව තහවුරු කරන ලෙස අපි බලකර සිටිනවා.”

lankatruth

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found