Language Switcher

V2025

මුට්ටි ගගට දාලා - පැණි පොවලා එන්නත් ගෙන්වීම ප‍්‍රමාද කළ ආණ්ඩුව කොරෝනාවෙන් මිය ගිය ජීවිත 4300ට වග කිව යුතුයි - මනුෂ 

කොරෝනා එන්නත ඇණවුම් කළ යුතු නිසි වේලාවේදී එන්නත ඇණවුම් නොකර පැණිය පිටුපස යමින්, මුට්ටි ගගට දමමින් ජනතාව රැවටූ ආණ්ඩුව, කොරෝනා නිසා මිය ගිය 4300කට වැඩි මිනිස් ජීවිතවලට වගකිව යුතු යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

ඩෙල්ටා ප‍්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් යන අවස්ථාවේදී පළාත් සංචරණ සීමාවන් ඉවත් කරමින් ආණ්ඩුව මිනිස් ජීවිතවලට ලංසු තබමින් සිටින බවද ඔහු පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

''එන්නත්කරණයෙන් ලෝකයේ පළමු තැනට ඇවිත් තියෙනවා කියලා රජය කියනවා. කොරෝනා නිසා මිය ගිය අයගෙන් සියයට හැටකටම එන්නත් ලැබී නැති බව සෞඛ්‍ය ඇමැතිනිය කියනවා.

ලෝකයේ බොහෝ රටවල් එන්නත්කරණයෙන් සියයට හැටක් අවසන් වුනාට පස්සේ තමයි ආණ්ඩුව එන්නත් ඇනවුම් කරන්න ගත්තේ. ඒ වෙනකම් ගංගාවලට මුට්ටි අතහැරියා. කෑගල්ලේ පැණියක් ප‍්‍රවර්ධනය කළා. අද එන්නත් කිරිමට තියෙන පෝලිමට වඩා වැඩි පෝලිමක් පැණිය ගන්න තිබුණා. නිලධාරීන් නිල ඇදුමින් ගිහින් පැණි අරගත්තා.

පැණි ප‍්‍රවර්ධනය කරලා, මුට්ටි ගගට දාලා මිනිස්සු රවට්ටන්න ආණ්ඩුව උත්සාහ ගත්තා. මිනිස්සු රැවැට්ටුවට කොරෝනා රවට්ටන්න බැරිවුනා. මේ වගේම ගගෙන් නයි අරගෙන ඇවිත් මිනිස්සු රැුවැට්ටුවා. හැබැයි කොරෝනා රවටන්න ගිහින් ආණ්ඩුවම රැුවටුනා.

ඇමැතිතුමිය මුට්ටි ගගට දැම්මා. මහාචාර්යවරයා පැණිය ප‍්‍රවර්ධනය කරන්න ගත්තා. තවත් අය නොයෙක් නොයෙක් දේ ගැන කතා කරන්න ගත්තා. මේ නිසා ජීවිත හාරදහස් තුන්සියයකට වැඩියෙන් ජීවිත අහිමිවුනේ.

මුල් දවස්වල එක් කොරෝනා මරණයක් වන විට ජනතාව තැති ගත්තා. දවසට මරණ පනහ හැට වාර්තා වන විට අද ඒක ගැන කිසිම කතාවක් නෑ. අද මිනිස්සු හාරදහසට වඩා වැඩියෙන් මැරුණේ නිසි වෙලාවට ආණ්ඩුව එන්නත් ගෙනාවේ නැති නිසයි.

දැන් දවසකට එන්නත් ලක්ෂ පහක් ගහලා ඒක මහ ලොකු වීර ක‍්‍රියාවක් වගේ කියනවා. මේ රටේ සෑම පුද්ගලයෙක්ටම ගහන්න පුලුවන් එන්නත් ටික ආණ්ඩුව ගෙනැත් දුන්නොත් එක දවසින් මේ එන්නත්කරණය කර අවසන් කිරීමට හැකි තරම් හැකියාවෙන් යුත් සෞඛ්‍ය සේවයක් අපේ රටේ තියෙනවා.

අපේ රටේ ප‍්‍රජා සෞඛ්‍ය සේවය ඉතාමත් කාර්යක්ෂමව වැඩ කළ සෞඛ්‍ය සේවයක්. රටේ යුද්ධයක් තිබියදී, එක දවසකට යුද්ධය නතර කරලා රටේ හැම තැනම පෝලියෝ එන්නත එක දවසින් දුන්න සෞඛ්‍ය සේවයක් අපිට තියෙනවා. අද මේ සෞඛ්‍ය අංශ, ඇතුළු සියලු දෙනාට එකතු වුනොත් එක දවසින් එන්නත ගහලා ඉවර කරන්න පුලුවන්. ප‍්‍රශ්නය වෙන්නේ එහෙම ගහන්න එන්නත් නොමැතිවීමයි.

අපි එන්නත් මෙච්චර ගැහුවා කියලා උදම් අනන එක නෙමෙයි ප‍්‍රශ්ණය. එන්නත් ගෙනාපු නැති එක තමයි ප‍්‍රශ්ණය. කලට වෙලාවට එන්නත් ගෙනාපු නැති එක තමයි ප‍්‍රශ්ණය. අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න වෙලාවට එන්නත් ඇනවුම් කරන්න තිබුණා. ඒ විදියට හරි වෙලාවේ එන්නත් ඇනවුම් නොකර මුට්ටි පස්සේ ගියපු නිසා තමයි ජීවිත හාරදහසකට වඩා නැතිවෙලා තියෙන්නේ.

එන්නත්කරණය සිදුකරන සෞඛ්‍ය අංශවලට, ආරක්ෂක අංශවලට අපේ ස්තුතිය පුද කරනවා. මුට්ටි ගගට දාන්නේ නැතිව, පැණි පොවන්නේ නැතිව දැන් හරි විද්‍යාව පැත්තට ආපු එක ගැන අපි ස්තුතිවන්ත වෙනවා.

හැබැයි රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න කියලා රට වැහුවේ නැහැ. මේ දූපත් රටට වෛරසය ඒම වලක්වාගෙන හරි වෙලාවට එන්නත්කරණය කළා නම් රට බේරාගන්න තිබුණා. ඒ පියවර නොගත් නිසා මිනිස් ජීවිත හාරදහස් ගණනකින් වන්දි ගෙවීමට සිදුවුනා.

අද වන විට ඩෙල්ටා ප‍්‍රභේධය භයානක ලෙස පැතිරෙමින් යනවා. දවස් දෙකට එකසිය තිස් දෙදෙනෙක් මිය යන විට සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැදවනවා. ඒ අනුව ගැබිනි මව්වරුන්ට සේවයට පැමිණීම වලක්වමින් නිකුත් කළ චක‍්‍රලේඛය පවා අහෝසි වෙනවා. ගැබිනි මව්වරුන්ට තවම එන්ත්කරණය අවසන් කර නැහැ.එහෙම තිබියදී ගැබිනි මව්වරුන් සේවයට කැදවනවා. ආණ්ඩුව දැන් මේ ජීවිතයත් මරණයත් අතර සෙල්ලමක් කරනවා.

කොරෝනා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබියදී සංචරණ සීමා ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරන්නේ මොකද කියලා අපිට හිතාගන්න බැහැ. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන නිසා තමයි මේ රට අරින්නේ. කොරෝනා වංසගතය පටන්ගත් දවසේ ඉදලා ගත යුතු ක‍්‍රියාමාර්ග නොගෙන දැන් තමයි ආණ්ඩුව විවිධ පියවර ගන්න හදන්නේ. ආර්ථිකය වෙනුවෙන් ජනතාවගේ ජීවිතවලින් ආණ්ඩුව ලංසු තියනවා''