Language Switcher

V2025

ෆේස් බුක් තහනමේ ඉලක්කය 'ලංකා ඊ නිව්ස්' !

ජාතිවාදයට වැට බැඳීමට මුවා වී ආරම්භ කෙරුණු ශ්‍රී ලංකාව තුල ෆේස් බුක් සමාජ ජාලය අවහිර කිරීමේ මෙහෙයුම හරහා ආණ්ඩුවට එරෙහි වෙබ් අඩවි අවහිර කිරීමේ සැලසුමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහි මුලික ඉලක්කය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුල අවහිර කර ඇති 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය බව වාර්තාවේ.

 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට පිවිසීම කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව බාධා කර ඇති නමුත් ජනතාවට එය කියැවීම බාධාවක් වී නැත්තේ ලංකා ඊ නිව්ස් ෆේස් බුක් ගිණුම නිසාවෙනි. 

රජය මේවනවිට ෆේස්බුක් සමාගමට දන්වා ඇත්තේ ෆේස් බුක් තහනම ඉවත් කිරීමට නම් TRC ය සහ සර්ට් ආයතනය දැනුම් දෙන ෆේස් බුක් ගිණුම් තහනම් කළ යුතුය යන කොන්දේසියයි.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ආණ්ඩුවේ ඇතැම් කරුණු දැඩි ලෙස විවේචනය කලද එම වෙබ් අඩවිය මේ අවස්ථාවේදී ජාතිවාදයට හෝ ආගම්වාදයට උඩ ගෙඩි දී නොමැත.

 

ෆේස් බුක් අවහිරය ඉවත් කිරීමට රජයෙන් කොන්දේසි !

 

ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 'ලංකාදීප' පුවත්පතට පවසා ඇත.
 
ෆේස්බුක් ආයතනය සමඟ මේ පිලිබඳව දිගින් දිගටම සාකච්ඡා සිදුකරමින් සිටින බවත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්  අමාත්‍යවරයා කියා සිටියි.
 
ෆේස්බුක් තහනම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද ප්‍රකාශ කර තිබේ.
 
 ‘‘අපිට මේක දේශපාලන ප්‍රශ්ණයක්  නෙමෙයි. නමුත් ජාතික ආරක්ෂාවට හෝ  ජාතිවාදය අවුස්සන ප්‍රශ්ණ වලට  ඉඩ ලබාදිය නොහැකියි.
 
මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය  ඇතුලූ  කරුණු  සම්බන්ධයෙන්  වෙනස්කම්  කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ. 
 
මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුන ලොකුම බාධකය.  නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුනේ නැහැ.  ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.

 

තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ

 එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම්  මේ ප්‍රශ්ණය විසදන්න ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ  තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ. 

ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන  ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි.
 
ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම්  අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ යැයිද ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීම සම්බන්ධව මේ වන විට අමාත්‍යංශය සහ විදුලි සංදේශ නියාමන කොමිසම එක්ව ෆේස්බුක් සමාගම සමග සාකච්ඡා පවත්වමින් සිටින බව පවසන අමාත්‍යවරයා, ඒ සඳහා තම අමාත්‍යංශයට හා විදුලි සංදේශ නියාමන කොමිසමට ජනාධිපතිවරයා විසින් බලය පවරා ඇති බවද වැඩි දුරටත් සඳහන් කරයි.