Language Switcher

V2025

රටම අනතුරේ දැමුණු තීන්දුවක් ගැන වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි !

විශාල වියදමක් දරා ඉදිකළ රසායනාගාරය ප්‍රයෝජනයට නොගැනීම හා අනිවාර්ය PCR පරීක්ෂණය ඉවත් කිරීම කිසිම විද්‍යාත්මක පදනමක් මත ගෙන ඇති තීරණයක් බව තමන්ට නොහැඟෙන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

තවද මෙම තත්වය නිසා නව වෛරස ප්‍රභේද රටට ඇතුළු වීමට ඇති හැකියාව වැඩි වීම මගින් සියල්ලන්ම පාහේ විසින් කළ විශාල කැපකිරීම් මගින් රෝග පාලනයේ ලබා ඇති ප්‍රගතිය මුළුමනින්ම පාහේ යළි ගිලිහී යාමට ඇති අවදානම අවතක්සේරු කළ නොහැකි බවත් පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ කරුණු පෙන්වාදී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමුකරමිනි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපිය පහත දැක්වෙයි.

වෛද්‍ය අසේල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ 10

අධ්‍යක්ෂ ජනරාල්තුමනි,

විදෙස් සංචාරකයන් සඳහා හදිසියේ වෙනස් වු මාර්ගෝපදේශ මාලාව- අනිවාර්ය PCR පරීක්ෂණය ඉවත් කිරීම !

විදෙස් සංචාරකයන් ආකර්ෂණය සදහා ඉක්මන් PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සහිත රසායනාගාරයක් රජය විසින් පසුගිය දා ඉතා විශාල වියදමක් දරා ලහි ලහියේ කටුනායක ගුවන් තොටුපොළ තුල පිහිටුවන ලදී.

සංචාරකයන්ට ඉතා පහසුවෙන් රටට ඇතුළු වීමට හැකි වීම මගින් වැඩි සංචාරකයන් පැමිණීමක් අපේක්ෂා කරන අතරම රටට නව කොරෝනා ප්‍රභේද ඇතුළු වීම අවම කිරීම මගින් රටේ කොරෝනා වසංගතය පාලනය විධිමත් කිරීම මෙහිදී බලාපොරොත්තු වූ ප්‍රධාන කාරණා දෙකය.

නමුත් සැවොම පුදුමයට පත්කරමින් යම් අදිසි හස්තයක් හරහා මෙම මාර්ගෝපදේශ මාලාව වෙනස්කර රජය විසින් නව සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක් සංචාරකයන් සඳහා පනවා ඇත. මේ අනුව ඔවුන්ට රටට ඇතුළු වීම සඳහා පැමිණෙන මොහොතේ ගුවන් තොටුපලේදී සිදු කිරීමට නිර්දේශ කර තිබු අනිවාර්ය PCR පරීක්ෂණය අවලංගු කර ඒ වෙනුවට ඔවුන් විසින් ගෙනෙනු ලබන එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් බවට ඇති සහතිකය හා රටට ඇතුලුවීමට පැය 72 කට පෙර ලබා ගත් PCR පරීක්ෂණ ප්‍රතිඵල පමණක් ප්‍රමාණවත් බව නව නිර්දේශය යි.

විශේෂඥ වෛද්‍ය සංගමය ලෙස අප මෙය දැඩි ලෙස හෙළා දකින අතර මෙමගින් අප රටට සිදුවිය හැකි භයානක ප්‍රතිඵල ගැන අප ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. ඊට හේතුව වශයෙන් අප දකින්නේ මින් පෙරද අසත්‍ය මෙන්ම වැරදි PCR වාර්තා සහ අසත්‍ය එන්නත්කරණ වාර්තා ද මෙරට මෙන්ම වෙනත් දියුණු විදෙස් රටවලද වාර්තාවී ඇති බව අප දන්නා නිසාය. මෙසේ හෙයින් විශාල වියදමක් දරා ඉදිකළ රසායනාගාරය ප්‍රයෝජනයට නොගැනීම හා අනිවාර්ය PCR පරීක්ෂණය ඉවත් කිරීම කිසිම විද්‍යාත්මක පදනමක් මත ගෙන ඇති තීරණයක් බව අපට නොහැඟේ.

තවද මෙම තත්වය නිසා නව වෛරස ප්‍රභේද රටට ඇතුළු වීමට ඇති හැකියාව වැඩි වීම මගින් අප සියල්ලන්ම පාහේ විසින් කළ විශාල කැපකිරීම් මගින් රෝග පාලනයේ ලබා ඇති ප්‍රගතිය මුළුමනින්ම පාහේ යළි ගිලිහී යාමට ඇති අවදානම අවතක්සේරු කළ නොහැක.

එම නිසා අපගේ ආයාචනය වන්නේ මෙම මාර්ගෝපදේශ වෙනස් කිරීමට ගත් තීරණ සම්බන්ධව රටේ වගකිව යුතු පුද්ගලයින් විසින් අදාළ විශේෂඥයන් සමග සමාලෝචනයක් කිරීම අත්‍යවශ්‍ය බවත් එමගින් ගන්නා මාර්ගෝපදේශන රටේ සුභසිද්ධිය සඳහා විය යුතු බවයි.

ස්තූතියි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය