Language Switcher

V2025

අගමැතිගේ විශේෂ පණිවිඩයක් රැගෙන මංගල ජනපති හමුවේ !

 මතුවී ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ පණිවිඩයක් රැගෙන මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පෙරේදා (26) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ පැජට් පාරේ නිල නිවසේදී මෙම හමුව පැවති බව පැවසේ.

එක්සත් ජාතික පක්ෂය 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇතිකර ගත් දේශපාලන එකඟතාවය අනුව 2025 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආණ්ඩු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ කැමැත්ත එහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇති අමාත්‍ය සමරවීර මහතා, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඇති විශ්වාසය ද පළකර ඇතැයි ඉහත ආරංචිමාර්ග කියා සිටියි.

කෙසේවුවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන්නේ නම්, එජාපයට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවය ද අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙන්වා දී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 එජාප ආණ්ඩුවකට මන්ත්‍රීවරු 130කගේ සහය :

 මේ අතර මහනුවරදී ජනාධිපතිවරයා හමුවී ඇති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, ශ්‍රීලනිපය ඒකාබද්ද විපක්ෂය සමග හවුලකට යන්නේ නම්, එජාපයට තනි ආණ්ඩුවක් සැදීමට සිදුවන බව දැනුම් දී ඇත.

එජාපයට මේවනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 107ක් තිබෙන බවත්, මන්ත්‍රී ආසන 130 බලයක් පෙන්වීමට එජාපය සුදානම් බවත් සඳහන් කර ඇති මලික් සමරවික්‍රම මහතා, කෙසේවුවද එහිදී එජාපය විසින් පාර්ලිමේන්තුවට පත්කළ පුජ්‍ය අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්ගේ සහයක් ලබාගැනීමට බලාපොරොත්තු නොවන බවත් අවධාරණය කර තිබේ.