Language Switcher

V2025

ගෝඨා හොරෙක් නෙමෙයි, අත්අඩංගුවට ගන්නේ නෑ -අමුණුගම

හිටපු ආරක්ෂක ලේකම්වරයා කිසිඳු මූල්‍ය වංචාවකට සම්බන්ධ නොමැති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

අද(27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් මතු වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිඳු සූදානමක් හෝ එවැන්නක් නොමැති බවයි.

එය විවිධ පුද්ගලයින් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බවද ඒ මහතා කියා සිටියේය.

 මුදල් අවභාවිත කර නැහැ :

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට කිසිඳු හේතුවක් නොමැති බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ තමන් මේ පිළිබඳව සොයා බැලූ බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිඳු පෞද්ගලික වාසියක් තකා එම මුදල් අවභාවිත කර නොමැති බවයි.

ඕනෑම ක්‍රියාවලියක් ආරම්භ කිරීමේදී ඇස්තමේන්තු ගත මුදලක් වෙන් කරන නමුත් එයට වඩා වැඩි මුදලක් අදාළ ක්‍රියාවලීන් සඳහා වියදම් වන බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ සමහර පිරිස් විසින් එවැනි ඇස්තමේන්තුවලින් පෞද්ගලික දෑ වෙනුවෙන් මුදල් වංචා කරන නමුත් මෙම සිද්ධිය තුළ එවැන්නක් සිදුව නොමැති හෙයින් ඇස්තමේන්තුවට වඩා ගිය වියදම පිළිබඳව පරිපාලනමය වශයෙන් ක්‍රියාත්මක විය හැකි බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කර තිබුණි.

 ගෝඨා ගෙන් රීට් පෙත්සමක්:

 මේ අතර තමා අත්අඩංගුවට ගැනීම වළකාලමින් රීට් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සමින් පොලිස්පතිවරය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු පාර්ශවයන් පහක් නම් කර ඇති බව සඳහන්වේ.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත්කර තිබිණ.