Language Switcher

V2025

බැසිල් මහින්දානන්දගේ ගුණ වයයි : කිරිපිටි ගැනත් දැනුම්දීමක් !

හරිත කෘෂිකාර්මික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී අප සියලුදෙනා වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විවිධකාරයේ පීඩනයන්ට ලක්වෙමින්, හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව සතුටු වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි

මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පශූ සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ දියර කිරිවලින් ස්වයංපෝෂිත රටක් සඳහා වූ වැඩමුළුවකට සහභාගීවෙමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

පසුගිය කාලයේ වසරකට විදෙස් ශ්‍රමිකයන් 2,30,000ක් පිටත් කර තිබෙනවා. පසුගිය වසරේ එය 53,000 දක්වා අඩුවෙලා. ලබන වසරේදී එය ලක්ෂ 3 දක්වා වැඩිකර ගන්න අපි උත්සාහ කරනවා. අපේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණීය ආහාර නිෂ්පාදනය කරන්න මේ වසරේ අපි විශාල මුදලක් වෙන්කර තිබෙනවා. පිටරටින් ආනයනය කරන කිරිපිටි නතරකර, මෙරට දියර කිරි නිෂ්පාදනය වැඩි කරගන්න සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

මේ වසරේ අපි සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. දිසාපතිවරුන්ට රුපියල් මිලියන 85,000ක් අයවැයෙන් වෙන්කර දී තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, කොට්ඨාසවලට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභාවලට මුදල් ලබා දී තිබෙනවා. මේ සියලු මුදල් යොදාගෙන මෙරටේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවිය හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි කියලා අපි අපේක්ෂා කරනවා. කිසිම අවස්ථාවක අතිරේක මුදල් ලබා ගැනීමට හැකියාවක් නෑ. අලුතින් වාහන, කාර්ය මණ්ඩල ලබා ගන්න අනුමැතිය ලබාදෙන්න බෑ. මේ රටේ රාජ්‍ය සේවයේ විශාල පිරිසක් ඉන්නවා. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඉන්න තරමට මේස පුටුවක්වත් නැහැ. ඒ නිසා ඒ සියලු මානව සම්පත් යොදාගෙන, මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කර, පිටිකිරි සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පශු සම්පත් සංවර්ධනය සම්බන්ධ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා”