දශක ගණනක් රාජ්‍ය නායකයකු නොගිය තැනකට ජනාධිපති ගිහින් !

 දශක ගණනක් රාජ්‍ය නායකයකු නොගිය තැනකට ජනාධිපති ගිහින් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (21) හදිසියේම කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්,කොළඹ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොස් තිබේ.

දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන (සේවා), ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපතිවරයා පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමඟ සාකච්ඡා කර තිබේ.

කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද එහිදී ජනාධිපතිවරයා සොයා බැලීය.

හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප්‍රතිපත්තියයි. මෙවර මහ කන්නයේදී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මඟහරවා ගනිමින් යල කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 34කට අවස්ථාව දී තිබිණ. ඒ ඒ ආයතනවල කාබනික පොහොර මඟින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය පිළිබඳ සොයා බැලිය යුතු බව හෙතෙම අවධාරණය කර ඇත.

ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආයතන දිරිගන්වා එම ආයතනවල නිෂ්පාදන වැඩි කිරීමට තීරණය කෙරිණ. එමෙන්ම ඉදිරි කන්නවලදී ගොවීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පසුගිය වසර දෙක තුළ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන මඟින් අනුරාධපුරය, හම්බන්තොට, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක 9ක සියලු ම පුරන් කුඹුරු අස්වැද්දීමට හැකි වූ බව නිලධාරිහු පෙන්වා දුන්හ.

දිවයින පුරා ඇති සෙසු පුරන් කුඹුරු ද හඳුනාගෙන තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අයත් ය. ඒවා පුරන් වීමට හේතු විමර්ශනය කර, හිමිකරුවන් සහ ගොවි සංවිධාන මැදිහත් ව අස්වැද්දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබී ය.
වී ගොවිතැන සඳහා යොදා ගත නො හැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදා ගත යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක ශාඛා 559කින් යුත් ගොවිජන බැංකු මඟින් ගොවීන්ගේ තැන්පතු භාරගැනීම සහ ණය දීම සිදු කෙරේ. රුපියල් ලක්ෂ දෙකේ සිට දහය දක්වා කන්න සහ වාර්ෂික ක්‍රමවේදයට ණය ලබා දෙයි. එමඟින් වෙනත් පාර්ශ්වයන්ගෙන් අධික පොලී මත ණය මුදල් ගැනීමෙන් ගොවීන්ට මුහුණ දීමට සිදු වන ගැටලු රැසකින් මිදිය හැකි බව නිලධාරිහු පෙන්වා දුන්හ. මෙහි ඇති වැදගත්කම සලකා ගොවිජන බැංකු ශක්තිමත් කිරීමට සහ ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට මැදිහත් වීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න