ඇතැම් කැබිනට් ඇමැතිවරුන් එම අමාත්‍යංශවල රාජ්‍ය ඇමැතිවරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන් අතර රාජකාරි කටයුතු සම්බන්ධයෙන් හටගෙන ඇති බල අරගල හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව අමාත්‍යංශවල නිල කටයුතු වර්ජනය කිරීමට පවා පෙළැඹී සිටින බව වාර්තා වෙයි.
මේ ගැන වාර්තා වූ ආසන්නතම සිද්ධිය වන්නේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට දැරෑ උත්සාහයයි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් එම ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්ව ක්‍රියාකළ බව දැනගන්නට තිබේ. සිය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අමාත්‍යංශයේ සංවර්ධන කටයුතුවලට වෙන්කළ මුදල් තමන්ට ලබානොදීම ඇතුළු චෝදනා රැසක් නගා ඇති ලන්සා මහතා පසුගියදා පැවති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර විවෘත කිරීමේ උත්සවයද වර්ජනය කළේය.
එසේම කර්මාන්ත අමාත්‍යංශය මගින් පසුගියදා සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල එම අමාත්‍යංශයට අයත් රාජ්‍ය අමාත්‍යංශ තුනේම රාජ්‍ය ඇමැතිවරුන් වර්ජනය කර තිබිණි. මෙකී සම්මාන උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම අවස්ථාවට ලොහාන් රත්වත්තේ, දයාසිරි ජයසේකර සහ ප්‍රසන්න රණවීර යන කර්මාන්ත අමාත්‍යංශයට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යංශ තුනේම රාජ්‍ය ඇමැතිවරුන් පැමිණ සිටියේ නැත. මෙයින් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ සමඟ බලතල සම්බන්ධ අවුලකට මැදිහත්ව සිටින බව වාර්තා වෙයි.
වරාය කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරද තමන්ට හිමිව ඇත්තේ නාමමාත්‍ර රාජ්‍ය අමාත්‍ය තනතුරක් බව කියමින් පසුගියදා ප්‍රසිද්ධියේම දොස් නැගීය. මෙයට අමතරව බස්නාහිර පළාතේ තවත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍යවරියක්ද නැගෙනහිර පළාතේ රාජ්‍ය අමාත්‍යවරයකුද වයඹ පළාතේ රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක් සිය අමාත්‍යංශවල වගකීම් පැවරීමේදී කැබිනට් ඇමැතිවරුන් හා අමාත්‍යංශ ලේකම්වරැන් අතින් සිදුව ඇති වැරදි සහ දෝෂ ගැන චෝදනා නගමින් සිටිති.
දැනට මෙරට රාජ්‍ය අමාත්‍යංශ 40ක් පමණ ස්ථාපිත කර තිබේ. එයින් 10¼ක පමණ මෙවැනි රාජ්‍ය ඇමැති අර්බුද හටගෙන ඇති බව දේශය ඒ ගැන කළ විමර්ශනයදී හෙළිදරව් විය.
-deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
