Language Switcher

V2025

සර්ව පාක්ෂික සමුළුව අල වෙන ලකුණු : යන නොයන පක්ෂ මෙන්න !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හෙට (23) කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව ප්‍රධාන පෙළේ පක්ෂ සහභාගීත්වයක් නොමැති වීම හේතුවෙන් අසාර්ථක වන ලකුණු පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉතාම සීමිත පක්ෂ සංඛ්‍යාවක් හැර ප්‍රධාන පෙළේ පක්ෂ රැසක් ඊට සහභාගි නොවීමට දැනටමත් තීන්දු කර ඇති බවය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය පක්ෂය සහ එඒ සමග සන්ධානගත පක්ෂ , ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නායකත්වය දරන ජාතික ජනබලවේගය පක්ෂය , විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ , වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ , උදය ගම්මන්පිල නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය පක්ෂය මේ වන විට සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නොවන බව ප්‍රසිද්ධියේ පවසා ඇත.

එපමණක් නොව ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසය ද මෙම සමුළුවට සහභාගි නොවන බවට එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසා ඇත.

ද්‍රවිඩ ජාතික සන්ධානය තුළත් සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් විවාදයක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊට අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හෙට පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි වන බව පවසා ඇති නමුත් එම සන්ධානයේ පක්ෂ කිහිපයක්ම ඊට විරෝධය පලකර ඇත.

නමුත් දේශපාලන ආරංචි මාර්ග හරහා වාර්තා වන ආකාරයට සී.වී. විග්නේෂ්වරන් ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා සන්ධානය සහ ගජන් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයද එම සමුලුව වර්ජනය කිරීමට තීරණය කොට තිබේ.

මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ නායක සෙල්වම් අඩෛක්කිලනාදන් ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට ඇත.

ඒ අනුව ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවේ පක්ෂ 10 ක නාමික නියෝජනයක් ලෙස තිස්ස විතාරණ මන්ත්‍රීවරයා සමග තවත් අයෙකු සර්ව පාක්ෂික සමුළුව නියෝජනය කරනු ඇති බවත් දැනගන්නට ඇත.