Image

ශ්‍රී ලාංකීය දේශපාලනයේ පරමාදර්ශී චරිතය; ඩඩ්ලි සේනානායක

ශ්‍රී ලාංකීය දේශපාලනයේ පරමාදර්ශී චරිතය; ඩඩ්ලි සේනානායක

මම ඩඩ්ලි සේනානායක දකින්නේ බුද්ධිය සහ හදවත හොඳින් යා කළ දුර්ලභ චරිතයක් ලෙසිනි. මානව දයාව සපිරි ඒ චරිතය දේශපාලනය අලංකාර කළ, කලාතුරකින් දැකිය හැකි මනුෂ්‍ය රත්නයකි. ඔහු ගේ දේශපාලනය දෙස කුමන ඇසකින් බැලූ කෙනකු වුවද ඒ කිසිවකු ඔහුට වෛර කළේ නැත. දේශපාලන අදහස් අතින් වෙනස්කම් තිබුණ ද ඒ සියලු දෙනා ඩඩ්ලි සේනානායකයන්ට ආදරය කළහ. වාමාංශික වූව ද, දක්ෂිණාංශික වුව ද, බෞද්ධ වුව ද, හින්දු වුව ද, ක්‍රිස්තියානි වුව ද, මුස්ලිම් වුව ද, ලිබරල් වුව ද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වුව ද ඒ සැමගේ ගෞරවයට ඔහු පාත්‍ර විය.

ජනරංජන නායකයා

ddaඩඩ්ලි සේනානායකයන් අවසන් හුස්ම හෙළුෑ අවස්ථාවේ දී ඔහුට ගරුත්වය දක්වන්නට නොපැමිණි ශ්‍රී ලාංකිකයකු වේ නම් ඒ ශාරීරික දුර්වලකමක් හෝ අසනීපයක් තිබු කෙනකු විය යුතු ය. ඒ තරමට ජන ගංගාවක් එතුමන්ට ගෞරවය පුදන්නට කොළඹට පැමිණියහ. එසේ කොළඹට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවට කෑමෙන්, බීමෙන් සලකන්නට, දහස් ගණනින් ජනතාව ස්වේච්ඡාවෙන් කටයුතු කළ දර්ශනය මම දුටුවෙමි. එතුමන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනරංජන නායකයෙකු විය.

ඩඩ්ලි සේනානායකයන් රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයකු ලෙස සිටිය දී තම පියතුමන් ඉදිරිපත් කළ යෝජනාවලට විරුද්ධව කිහිප අවස්ථාවක දී ම අදහස් ප්‍රකාශ කළ අයුරු රාජ්‍ය මන්ත්‍රණ සභා වාර්තා කියවන කළ පෙනී යයි. පියතුමන් වෙත තිබූ ගෞරවය සහ තමන් ගේ හෘද සාක්ෂිය අතර ගැටුමට මැදිව සිටි ඩඩ්ලි, වරෙක පියතුමන් අමතා යැවූ ලිපියක මෙසේ සඳහන් කරයි.

එකිනෙකා වටහා ගත පිය-පුතු දෙපළ

“ආදරණීය පියතුමනි,

අප දෙදෙනා එකම වහලක් යට ජීවත් වන්නෙමු. ඔබේ පුත්‍රයා ලෙසින් මේ අයුරින් කටයුතු කිරීමට සිදුවීම අපහසු තත්ත්වයකි. අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ඔබ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන සමහර යෝජනාවලට මට එකඟවිය නොහැක. අවස්ථා බොහොමයක දී ඔබට දැඩි ලෙස විරුද්ධ වන්නට මට සිදු විය. එවැන්නක් අද ද සිදු විය. මේ තුළින් මම දැඩි මානසික පීඩනයකට පත්ව සිටිමි. එබැවින් රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළෙමි..”

තම ආදරණීය පුතුගේ ලිපියට ඩී. එස්. සේනානායක මෙසේ පිළිතුරු ලියා තිබිණ.

"ඔබ මගේ පුතා වුව ද, ඕනෑම අවස්ථාවක මට විරුද්ධවීමට ඔබට සම්පූර්ණ නිදහස ඇත. මම ඔබ හදා වඩා ගත්තේත්, අධ්‍යාපනයක් ලබා දුන්නේත්, ඔබ ස්වාධීන මිනිසෙකු වනු සඳහායි. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන කෙනෙකු වනු සඳහාය. රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ නිර්භීතව සහ නිවැරැදිව ඔබේ අදහස් දක්වන්නට ශක්තිය ලැබී තිබීම ගැන මම ආඩම්බර වන්නෙමි. එය කිසිසේත් අපේ පිය-පුතු සම්බන්ධයට හානි සිදු කරන්නක් නොවනු ඇත."

මේ පිය පුතු දෙපළ අතර සිදුව ඇති අදහස් හුවමාරුව, අද යුගයේ දේශපාලනඥයින්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හොඳ ආදර්ශයක් ලබා දෙන්නක් නොවන්නේද?

උපේක්ෂාසහගත බව

1970 මැතිවරණ පරාජයෙන් පසු පාර්ලිමේන්තුව තුළදී, කොතෙකුත් අපහාසයන්ට, අවලාදයන්ට සහ බාධා කිරීම්වලට මුහුණ දෙන්නට ඩඩ්ලි සේනානායකයන්ට සිදුවූ නමුදු, ඒ කිසිවක් ගැන වෛරයක් හෝ ද්වේශයක් ඔහු තුළ නොවීය. 1973 මැසි 24 වන දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව මේ වග හොඳින් පෙන්නුම් කරයි.

"ආර්. ප්‍රේමදාස මහත්මා :- තමන් වෙත බරපතළ පෞද්ගලික වූ ප්‍රහාරයක් කොතෙකුත් එල්ල කළ ද, ඒ අයවලුන් කෙරෙහි කිසිදු වෛරයකින් තොරව කටයුතු කරන්නට ඔහුට ශක්තිය තිබුණා. තමන් දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරුන් සමග තේ පානයේ දී දැඩි මිත්‍රත්වයෙන් යුතුව කථා බහ කරන්නට ඔහු පෙළඹුණා. ගරු කථානායක තුමන්ට පවා එවැනි සිදුවීම් මතක ඇතැයි මම සිතනවා.

කථානායකතුමා :- නම් සඳහන් කරන්න.

ආර්. ප්‍රේමදාස :- මම හොඳින් දන්නවා. එම කාන්තා මන්ත්‍රීවරිය කෙරෙහි එතුමන් කොපමණ ගරුත්වයක් දැක්වුවා ද කියා. එතුමන් ගේ ශ්‍රේෂ්ඨ ගුණාංග අප සැමට ලබා දෙන්නේ අනර්ඝ ආදර්ශයක්.”

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මහත්මයෙකි

1960 දශකයේ අවසන් භාගයේ දී සහ 1970 දශකයේ මුල් භාගයේ දී, ඩඩ්ලි සේනානායකයන්ගේ කථාවලට සවන් දෙන්නට පාර්ලිමේන්තු ගැලරියට යෑමට ශිෂ්‍යයෙකුව සිටි මට තිබුණේ මහත් උනන්දුවකි. ඩඩ්ලි පාර්ලිමේන්තුව අමතන විට සභා ගැබ තුළ ඇති වන්නේ පුදුම නිශ්ශබ්දතාවකි.

අතරින් පතර මතුවන බාධා කිරීම් සහ ව මවේචනයනට ඩඩ්ලි රසවත් සහ අර්ථාන්විත අයුරින් ප්‍රතිචාර දක්වන අයුරු මට දැනුදු සිහියට නගාගත හැකි ය. ඇන්. ඇම්. පෙරේරා, බර්නාඩ් සොයිසා, මෛත්‍රීපාල සේනානායක, පීලික්ස් ඩයස් බණ්ඩාරනායක, මෙන්ම විවියන් ගුණවර්ධන සහ ස්ටැන්ලි තිලකරත්න වැන්නන් සමග ඇති වන මේ බාධා කිරීම් සහ විවේචන ගැන පැරැණි හැන්සාඩ් වාර්තා අපට සාක්‍ෂි සපයයි.

ඩඩ්ලි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකු විය. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදී සිටි හෝ සිටින කිසිවෙකු මේ සත්‍යයට අභියෝග නොකරනු ඇත.

ජේ. ආර්. බේරා ගැනීම

මෙහිලා මගේ පෞද්ගලික අත්දැකීමක් සටහන් කරනු කැමැත්තෙමි. ඒ 1970 දශකයේ මුල් වකවානුවයි. 1970 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලද අන්තDudley 8 4 පරාජයෙන් පසු රජය සමග සම්බන්ධවීමට ජේ. ආර්. ජයවර්ධන මහතා යෝජනා කළ අවධිය යි. මේ සම්බන්ධ සාකච්ඡාවක් එදින එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරියේ තිබුණි. රැස්වීම පැවැතුණේ එවකට “සිරිකොත” ලෙස හැඳින්වු කොල්ලුපිටියේ ගාලුපාරේ පැරැණි එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ ය. රැස්වීම අතරතුර ජේ. ආර්. රැස්වීම් කාමරයෙන් පිටතට පැමිණ, තම වාහනය දෙසට ගමන් කළේ ය. ඔහු පිටුපසින් ඔහුට සහායට රැස්වීම් ශාලාවෙන් පිටතට පැමිණියේ ඒ. සී. එස්. හමීඩ් මහතා පමණි. රජය සමග සම්බන්ධවීමේ යෝජනාව හේතුවෙන් කෝපවී සිටි එක්සත් ජාතික පාක්‍ෂිකයින් විශාල පිරිසක් "සිරිකොත” ඉදිරිපිට ඒකරාශීවී සිටියහ. ඔවුන්ගේ කෑ කෝ ගැසීම්වලට සහ විරෝධතාවනට මුහුණ දෙන්නට ජේ. ආර්. ට සිදුවිය. මේ කෑ කෝ ගැසීම් හඬ ඇසුණු ඩඩ්ලි ඉහළ මාලයේ සිට පහළට, ලැලිවලින් තනා තිබු තරප්ප පෙළ දිගේ වේගයෙන් පැමිණි දර්ශනය මට දැනුදු සිහියට නගාගත හැකි ය.

කෑ කෝ ගසමින් සිටි පාක්‍ෂිකයන් පිරිස අතරට ගිය ඩඩ්ලි ඔවුන් නිහඬකරවා, ජේ. ආර්. ගේ වාහනය වෙත ඔහු සමග යමින්, ඔහු වාහනයේ නංවා, නැවත රැ ස්වීම් කාමරය වෙතගියේ කිසිදු අප්‍රසන්න සිද්ධියකට ඉඩ නොතබමිනි. මේ සිදුවීම් මාලාව, මම මගේ දෑසින් බලා සිටියෙමි. තමන්ට විරුද්ධ අදහස් දක්වන්නකු අපහාසයට හා සමච්චලයට ලක්වන්නට ඉඩදී, ඒ ගැන තමන් ගේ සම්බන්ධයක් නැතැයි කියමින් ඇඟ බේරාගන්නා උදවිය දැකගත හැකි අද වැනි යුගයක, ඩඩ්ලි සේනානායක වැනි දේශපාලනඥයින්ගෙන් අප සමාජයට ලැබෙන්නේ මහඟු ආදර්ශයක් නොවන්නේද?

පළමුව ඉගෙනුම; දෙවනුව දේශපාලනය

1970 දී එජාප පක්‍ෂය ලද මැතිවරණ පරාජයෙන් ටික කලකට පසු මා ඇතුළු ආනන්දයේ සිසුන් කිහිප දෙනකු ඩඩ්ලි සේනානායකයන් හමුවීමට එතුමන් ගේ වුඩ්ලන්ඩ්ස් මන්දිරයට ගියෙමු. ඒ සඳහා අපට අවස්ථාව ලැබුණේ එවකට එ.ජා. පක්‍ෂ තරුණ පෙරමුණේ තරුණ ලේකම්ව සිටි ජිනදාස නියතපාල මහත්මා මගිනි. අප ගමනේ අරමුණ වුයේ එජාප පක්‍ෂය තුළ ශිෂ්‍ය අංශයක් ආරම්භ කර ගැන්මයි. එහෙත් අපේ ඉල්ලීමට ඩඩ්ලි සේනානායකයන් ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය.

"පුතාලා, හොඳට ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න වයස. උපාධිය අරගෙන එන්නකෝ, ඔය ගොල්ලන්ට අපි පක්‍ෂය ඇතුළේ හොඳ තැනක් ලැහැස්ති කරලා දෙන්නම්.”

ශිෂ්‍යයන් ඉත්තන් කරගෙන තම දේශපාලන අරමුණු ඉටුකරගන්නට උත්සාහ කරන දේශපාලනඥයින්ගේ ගමන් මග සහ ඩඩ්ලිගේ ගමන් මග අතර තිබුණේ විශාල වෙනසකි.

වාමාංශික බෙදුම්වාදය

1956 "සිංහල පමණක්” ප්‍රතිපත්තිය එක්සත් ජාතික පක්‍ෂය විසින්ද වැලඳ ගැන්මෙන් අනතුරුව, එක්සත් ජාතික පක්‍ෂයේ ජන පදනම, යාපනය ප්‍රමුඛ උතුරේ නාය යාම ආරම්භ විය. නඩේසන් මහත්මා වැනි එ.ජා. පක්‍ෂයේ සිටි ජ්‍යෙෂ්ඨ ද්‍රවිඩ නායකයන් "තවදුරටත් පක්ෂයේ සිටීම අපහසු බව” කඳුළු පිරි දෙනෙතින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ප‍්‍රකාශ කරමින් පක්‍ෂය හැර ගියේ සිතකින් නොවන බව, ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩලයට කළ ප්‍රකාශය කියවන කල පෙනී යයි.

නැවත එජාප පක්‍ෂයේ නායකත්වය භාරගත් ඩඩ්ලි, ඉතිහාසයේ වැරැදි නිවැරදි කරමින්, චෙල්වනායගම් සහ තිරුචෙල්වම් යනාදි නායකයින් සමග අවබෝදයක් ඇතිකර ගනිමින්, ද්‍රවිඩ කතා කරන ජනතාවට සාධාරණත්වය සලසන අණ පනත් ගෙන ඒමට පසු කාලයේ දී (1965-70 යුගයේ දී) කටයුතු කළ නමුදු, අන්තවාදී බලවේග ඉදිරීයේ ජාතික එකමුතුවක් සඳහා ලද ඒ ඓතිහාසික අවස්ථාව මඟ හැරිණ. “භාෂා දෙකක් නම් එක රටක්-එක භාෂාවක් නම් රටවල් දෙකක්” යැයි කියමින් 1956දී සිංහල පමණක් යෝජනාවට විරුද්ධවූ සමසමාජ,කොමියුනිස්ට් වමේ පක්ෂ පවා 1966දී ඩඩ්ලි ගෙන ආ දෙමළ භාෂා විධීවිධාන පනතට හා දිස්ත්‍රික් සභා පනතට විරුද්ධව බෙදුම්වාදී සටන් පාඨ කියිමින් උද්ඝෝෂණ කිරීම සැබැවින්ම දෛවයේ සරදමකි.

වුඩ්ලන්ඩ්ස් මන්දිරයෙන් නික්මව...

1965 මැතිවරණය ජයග්‍රහණයෙන් පසු අග්‍රාමාත්‍යධූරය භාරගැනීමට ඔහු සී. පී. ද සිල්වා මහත්මා වෙත ආරාධනා කර සිටියේ ය. 1964 දී වාමාංශික සභාග රජය පෙරළා දැමීමට මුලිකවූ සී. පී. ද සිල්වා මහත්මා වෙත කෙළෙහිගුණය පාමින් ඩඩ්ලි කළ ඒ ආරාධනාව, ඩඩ්ලි කෙබදු නායකයෙකු ද යන වග හොඳින් පෙන්නුම් කරයි. බලය පසුපස ලුහු නොබැඳි ඩඩ්ලි බඳු ශ්‍රේෂ්ඨ නායකයින් දැකීම දුර්ලභ ය.

1970 පරාජයෙන් පසු විපක්‍ෂ නායකකම ද ජේ. ආර්. ජයවර්ධනයන්ට පිරීනැමීමට ඩඩ්ලි සේනානායකයන් කටයුතු කළේ ය. ඔහුගේ දේශපාලන ජීවිතය තුළ බලය ලබා ගැන්ම සඳහා හෝ බලයේ රැඳී සිටීමට හෝ අසාධාරණ ලෙසින් ක්‍රියා කිරීමක් කිසි විටෙක දැකිය නොහැකි ය.

1953 හර්තාලයේදී සිදුවූ ජීවිත හානියෙන් කම්පාවටත් වේදනාවටත් පත්වූ ඩඩ්ලි අගමැතිධූරයට “ආයුබෝවන්” කියමින් වුඩ්ලන්ඩ්ස් මන්දිරයට පා නැගුවේ බලයේ එල්ලී සිටීමට තරම් බලතණ්හාවක් තමනට නෙමැති බව රටටම පෙන්නුම් කරමිනි.

ගාමිණී කොරයා පෙරටු කර...

මහා සංඝරත්නය හා විහාරස්ථාන සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වූ ඩඩ්ලි සේනානායකයන් සැමට යහපත ප්‍රාර්ථනා කළ දේශපාලනඥයෙකු විය. අනෙකුත් ආගමික ඇදහීම් සහ විශ්වාස ගරු කළ එතුමන්, එම ආගමික නායකයින් සමග ද ඇතිකරගෙන තිබුණේ හෘදයාංගම සම්බන්ධයකි.

තම ආදරණීය පියතුමන් ගේ වියෝවෙන් හිස්වූ අග්‍රාමාත්‍යධූරයට පක්ෂයේ වැඩි දෙනා ගේ කැමත්ත තිබූ පසුබිමක ඔහු තෝරාගත් අවස්ථාවේ දී, ජනවරමකින් තොරව එම තනතුර දරා සිටීමට අකමැති වූ ඩඩ්ලි, ඒ සඳහා ජනතා කැමැත්ත විමසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට මුහුණ දීමට තීරණය කළේ නියම ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙසිනි.

ඔහුගේ පාලන කාලය තුළදී රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන්නට ඔහු කටයුතු කළේ, ලෝක පූජිත ශ්‍රී ලාංකීය ආර්ථික විශේෂඥයෙකු වන ගාමිණී කොරයා ගේ මග පෙන්වීම් ලබාගනිමිනි.

ශ්‍රී චන්ද්‍ර‍රත්න මානවසිංහට අනුව 'හොඳ වැඩි ඩඩ්ලි'

1965 සිට 1970 දක්වා වූ වසර පහ ම සම්පූර්ණ කළ ඔහුගේ පාලන කාලය තුළ කෘෂි ක්‍ෂේත්‍රයේ නායකත්වය ඇම්. ඩී. බණ්ඩා මහත්මාට ද, කාර්මාන්ත ක්‍ෂේත්‍රයේ නායකත්වය පිලිප් ගුණවර්ධන මහත්මාට ද, සේවා ක්‍ෂේත්‍රයේ නායකත්වය ජේ. ආර්. ජයවර්ධන මහත්මාට ද පවරමින්, රට තුළ ස්ථාවර භාවයක් සහ ආර්ථික ඉදිරි ගමනක් පිළිබඳ සටහනක් ඉතිහාසයට එක් කිරීමට ඩඩ්ලි සේනානායකයන් සමත්විය.

මව්බිමේ නිදහසත්, ඉදිරි ගමනත් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, ධනය වැය කළ තම සේනානායක පරපුරේ අඩිපාරේ යමින්, රටට අභිමානවත් නායකත්වයක් ලබාදුන් ඩඩ්ලි සේනානායකයන් අවසන් හුස්ම හෙළනවිට, ඔහුගේ බැංකු ගිණුමේ ඉතිරිව තිබු ශේෂය මුළු රටටම රහසක් නොවේ.

ඔහු අවංක නායකයෙකු විය. ඔහුට ජීවිත දෙකක් නොතිබිණ. ඔහුගේ වුඩ්ලන්ඩ්ස් මන්දිරය සැමදා සැමට විවෘතව තිබිණ. ජාති, කුල, ආගම් කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකික සැම ඔහුට ආදරය කළේ ඩඩ්ලි තමන්ගේ ම කෙනකු ලෙස විශ්වාස කරමිනි.

ශ්‍රී චන්ද්‍ර‍රත්න මානවසිංහයන් ඩඩ්ලි ගැන කළ සඳහනක් උපුටා දක්වමින් මේ ලිපිය සමාප්ත කරන්නට කැමැත්තෙමි.

“ඩඩ්ලි හොඳ වැඩියි” නොයෙක් විට නොයෙක් දෙනා කියති. කතාව ඇත්තය. ඇත්ත වුවත් සම්පූර්ණ නොවේ. ගලකින් පට්ට ලබා ගත හැකි ය. නොහැක්කේ ඩඩ්ලිගේ ප්‍රතිපත්තියක් ඔහු ලවා වෙනස් කරවා ගැනීමටය. ඔහුගේ ප්‍රතිපත්තියක් ඔහු ලවා වෙනස් කරවා ගැනීමට පමණක් නොව බුරුල් කරවා ගැනීමට ද නොහැකි ය. ඔහුගේ හදවත තෙත් ය; කරුණා ගුණයෙන් පරිපූර්ණ ය. එහෙත් ප්‍රතිපත්ති ඉදිරිපිට ඔහු නොසෙල්වන මහමෙරකි. හැඩි දැඩි පුද්ගලයෙකි. ඔව්! එඩිතර ඩඩ්ලි.''

ශ්‍රී ලාංකීය දේශපාලනයේ මා දුටු පරමාදර්ශී නායකයා ඩඩ්ලි සේනානායකයන්ය.

ශ්‍රී ලංකාව අභිමානවත් දේශයක් වීමට තව තවත් ඩඩ්ලි සේනානායකවරුන් මේ බිමේ පහළ වේවා.!

- ඉම්තියාස් බාකීර් මාකාර් -

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න