බොලිවුඩයේ රන් ස්වරය.. ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී ආශා බෝස්ලේ අද (12) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ඒ, හෘදයාබාධයක් හේතුවෙන් රෝහලේගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
දශක අටකට වැඩි කාලයක් සිය මධුර නාදයෙන් ලොවම සැනසූ ඇය අභාවප්‍රාප්ත වන විට වයස, අවුරුදු 92 ක්.
භාරතයේ ගීත කෝකිලාව ලතා මංගේෂ්කර්ගේ සොයුරිය වන ආශා බෝස්ලේගේ උපත සිදුවුණේ, 1933 සැප්තැම්බර් 8 වැනිදා ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ සංගිල් නුවරදී යි.
1948 දී චුනාරියා චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ - සාවන් අයයා - ගීතයෙන් ඇය බොලිවුඩ් සිනමා පසුබිම් ගායනයට අවතීර්ණ විය.
මේ දක්වා ඇය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව දහස් ගණනක්.
දම් මරෝ දම්.. චුරාලියා හේ තුම්නේ ජෝ ඩිල් කෝ.. පියා තූ අබ් තෝ ආජා.. ඉන් ආකෝන්කී මස්තී,, ඩිල් චීස් ක්‍යා හේ,, ඕ මෙරේ සෝ නාරේ.. රන්ගීලාරේ.. ඇය ගායනා කළ ලොවක් වසඟ කළ ගීත අතරික් කිහිපයක්..
හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස ජාතික සම්මාන දෙකක්, ෆිල්ම් ෆෙයාර් සම්මාන 7 ක් ඇතුලුව සම්මාන විශාල ප්‍රමාණයකින් ඇය පිදුම් ලබා ඇත.
ග්‍රැමි සම්මාන වෙනුවෙන් ඇය දෙවරක් නිර්දේශ විය.
ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ගෞරවනීයම සම්මානය වන ''දාදා සහබ් ෆාල්කේ'' සම්මානයෙන් ඇය පිදුම් ලැබුවේ, 2000 වසරේදී යි.
2008 දී, ඉන්දීය රජය විසින් ඇයට රටේ දෙවන ඉහළම සිවිල් ගෞරව නාමය වන පද්ම විභූෂණ සම්මානය පිරිනැමීය.
2011 දී ගිනස් ලෝක වාර්තා පොතේ ඇය සිය නාමය සනිටුහන් කළේ, වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කළ ගායන ශිල්පිනිය ලෙසයි.
හින්දි ගීතවලට අමතරව, ඇය සිංහල ගීත කිහිපක්ම සිය මධුර ස්වරයෙන් ගීතවත් කළාය.
ඊට අමතරව මරාති, බෙංගාලි, තෙළිඟු වැනි භාෂා 20කට අධික සංඛ්‍යාවකින් ඇය ගීත ගායනා කර තිබීම විශේෂත්වයකි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඇතුළු රාජ්‍ය නායකයින්, කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් ඇගේ අභාවය පිළිබඳව සංවේගය පළ කර තිබේ.
ඇගේ දේහය අද (12) රාත්‍රියේ මුම්බයි නුවර පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කෙරෙන අතර මහජනතාවට අවසන් ගෞරව දැක්වීමට හැකියාව ලැබෙන්නේ හෙට (13) පෙරවරු 11.00 සිටයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 4 00 ට මුම්බායි හි ශිවාජි පාර්ක් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිත වේ.
ඇගේ අභාවය ඉන්දියාවට පමණක් නොව මුළු මහත් සංගීත ලෝකයට පිරවිය නොහැකි හිඩැසක්.
නමුත්.. ඇගේ හඬින් ගැයුණු... දහස් සංඛ්‍යාත ගීත හරහා.. ඇය සදාකාලිකවම ජීවමාන වනු ඇති.
newsfirst
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
