Language Switcher

V2025

සර්ව පාක්ෂික සමුළුවේ වීරයා රනිල් !

අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආරාධනය අනුව පැවති සර්ව පාක්ෂික සමුළුව ආරම්භයේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඉතා සූක්ෂම ලෙස වත්මන් ආණ්ඩුවේ නොහැකියාව යහපාලන ආණ්ඩුවේ ගිනුමට බැරකිරීමට ගනුලැබූ උත්සාහය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රසිද්ධියේ ව්‍යර්ථ කරනු ලැබීය.

වඩාත් විශේෂ සිදුවීම වූයේ මහ බැංකු අධිපති දැක්වූ අදහස් මෙන්ම , එම සූක්ෂම හැසිරීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අනාවරණය කර සිටියේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු ඊට සහභාගී වූ පක්ෂ නායකයන් සහ නියෝජිතයන් සියලු දෙනා ඉදිරියේ වීමය.

අන්තිමේ ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝ !

එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය.

“මම එක කරුණක් පැහැදිලි කරන්නම්. මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ ඔබතුමා කැඳවලා තියෙනවා.

මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා සමුළුවට එන්න කියලා, පරණ යාළුකමටවත් එන්න කියලා.

මම හිතුවා මේක වැදගත් කියලා. අපි මෙතෙන්ට ආවේ මේ රටේ තියෙන උග්‍ර ප්‍රශ්නය නිසා. මෙතෙනදී අපි ආවේ නැහැ. ආපහු පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ ද කියන ඒවා කරන්න. අර පටු දේශපාලනයට මහ බැංකු අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ. ඒත් මම කණගාටු වෙනවා, එතුමා පටන්ගත්තේම ගිය ආණ්ඩුවේ වැරැද්දක් කියලා. මම ඒකට පිළිතුර දුන්නොත් එතකොට මොකද්ද වෙන්නේ. ඊළඟටත් පිළිතුරු දෙනවාද ? අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝනේ. එයා ලංකාවට ආවේ නැත්නම් මේ ප්‍රශ්නය තියෙන්නේ නැහැ කියයි. ඕකයි වෙන්නේ. මොනවටද අපි එතෙනට යන්නේ.

මම මේ ගැන කියන්නේ එක කාරණයක් විතරයි. අපිට වෙන ප්‍රතිපත්තියක් තිබුණේ. ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණා. බොන්න තිබුණා. පෙට්‍රල් තිබුණා. මම ඊට වඩා කියන්න යන්නේ නැහැ. තව එකක් තියෙනවා. අපි මෙතෙනට ආවේ, විපක්ෂයේ කොටසක් ඇවිත් ... මම ආවේ එයාලව පරාජය කරන්න නෙමෙයි. මෙතෙනට ඇවිත් අදහස් ප්‍රකාශ කරලා. ඒවා ගිහින් කියලා ඒ අයව සම්බන්ධ කර ගන්න. අපි මේවායෙන් තොරව ඒ ප්‍රශ්න ගැන කතා කරමු."

එම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට මෙලෙස පැවසීය.

"ඔබතුමාගේ හිත රිදුනානම් මම ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ අර ක්‍රමවේදය එනකොට ඒ අවුරුදු ගාන නිසා තමයි එතුමා ඒක දැක්වුයේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට චෝදනා නඟන්නට නෙමෙයි. මම ඒකයි මුලින්ම කිව්වේ මේක දේශපාලනික කාරණයක් නෙමෙයි. අවංකවම ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ට සෑම කෙනෙකුගේම අදහස් ගන්න කියලා තමයි කතා කළේ කියලා."

සර්ව පාක්ෂික සමුළුවේ වීරයා රනිල් !

අද පැවති සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවා තිබුණත්, එහිදී දේශපාලන පෞරුෂයක් සහිතව කැපී පෙනුණේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ජාතික ජනබලවේගය ඇතුළු විපක්ෂයේ ප්‍රධාන පක්ෂ මේ අවස්ථාව මගහැරීම එතරම් යහපත් සහ පරිණත දේශපාලන තීන්දුවක් නොවන බවයි.

කෙසේ වුවත් අද පැවති සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ IMF වාර්තාව විමසූ අවස්ථාවේ , එය ලැබී නැති බව වගකීමෙන් කියන බව මුදල් අමාත්‍යවරයා කිව්වත්, ඔහුගේ ප්‍රකාශයේ විශ්වසනීයත්වය පළුදු කර දැක්වූ අදහස් දේශපාලන විචාරකයන් ගේ අවධානයට යොමුව ඇත. එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති වෙතින් විමසන්නේ, IMF නියෝජිත කැඳවා කරුණු නොවිමසන්නේ ඇයිද කියාය.

එසේම මෑත කාලීනව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වත්මන් අර්බුදය විග්‍රහ කරගන්නා ආකාරයත්, ඉදිරිපත් කරන පුරෝකථන විසින් ඔහු කැපීපෙනෙන තත්ත්වයක් ඇතිකර ගනිමින් සිටින බවත් දේශපාලන විචාරකයන් පවසයි .