ශ්‍රීලනිප යේ දරුණු බෙදීමක් : දුමින්ද මහින්ද හමුවෙන්න ගිහින් !

ශ්‍රීලනිප යේ දරුණු  බෙදීමක් : දුමින්ද මහින්ද හමුවෙන්න ගිහින් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවූ, අර්බුදය විසඳීම වෙනුවෙන් වන , සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡා සභාවට සහභාගීවීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ බරපතළ බෙදීමක් සිදුව ඇති බව වාර්තා වෙයි .

මේ අතර ජනාධිපති ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව පවසමින්, අදාළ සාකච්ඡා සභාව වර්ජනය කළ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ ,අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව ඇත්තේ තත්ත්වය තවත් උනුසුම් කරමින් ය.

විශ්වාසවන්ත ආරංචි මාර්ග දක්වන තොරතුරු අනුව , අප්‍රේල් 29 වනදා ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡා සභාවට, පෙර දින , එනම් අප්‍රේල් 28, ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්ව තිබෙනවා. ඒ ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිවසේදී ය.

එහිදී ජනාධිපති ගෝඨාභය සිදුකර ඇති ආරාධනය පිළිගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මතුව ඇත්තේ විවාදකාරී තත්ත්වයකි .

ඊට හේතුව පිරිසක් ජනාධිපති ආරාධනය පිළිගැනීමට පක්ෂ වන විට, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ජනාධිපතිව විශ්වාස කළ නොහැකි බැවින් අදාළ සාකච්ඡා සභාව වර්ජනය කිරීමට යෝජනා කිරීමයි.

මෙහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පවසා ඇත්තේ, මීට පෙර ශ්‍රීලනිප යෝජනාවක් අනුව කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව සඳහා ඉදිරිපත් කළ යෝජනා 21න් එකඳු යෝජනාවක් හෝ ඉටුකිරීමට ජනාධිපති ගෝඨාභය කටයුතු කර නැති බවයි.

එසේම එකඟතා මධ්‍යයේ කටයුතු කිරීමට නියමිතව තිබියදී පක්ෂයේ දෙදෙනෙකු කැඳවා රහසේ අමාත්‍ය ධූර ලබාදීමට කටයුතු කිරීමත් ජනාධිපති ගේ ආරාධනය ප්‍රතිකේෂ්ප කිරීමට හේතු වන බවයි.

ඒ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් පක්ෂ නායකත්වය මෙන්ම සමස්ථ පක්ෂයත් හෑල්ලුවට ලක්වන බවත් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ .

කෙසේ වුවත් බහුතර මතය ලෙස ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති කැඳවූ සාකච්ඡා සභාවට සහභාගී වුණා. එහිදී ශ්‍රීලනිප නියෝජිතයන් ලෙස මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ඊට එක්වුහ.

නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේද මේ සාකච්ඡාවෙන් පසුවයි.

එම නව ආණ්ඩුවට අවශ්‍ය උපදෙස්දීම සඳහා ජාතික සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න