Language Switcher

V2025

ඇමති නොකියා ඇවිත් : වරායේ අරුම පුදුම කජු කෑමක් හෙළිවෙයි !

කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් අඩක්ම පාහේ වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අනාවරණය කරගෙන ඇත.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදී බවත් වාර්තා වෙයි .

ඒ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට ඊයේ ( 16) උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි .

එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.

එසේම කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි .

කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවී ඇති බවත් දැනගන්නට ඇත .

එහෙත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව සේවකයින් පවසා ඇති අතර එහිදී අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ , අදාළ පුරප්පාඩුවට වහාම සුදුස්සකු බඳවා ගන්නා ලෙසයි.

වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගේ මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙහිදී හෙළිදරව්වී ඇත. ඒ අනුව මේ තත්වය වහා වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වරාය මුලුතැන්ගේ පවතින අඩුපාඩු සහ ආහාර ප්‍රමිතියෙන් තොර බවත් වෘත්තීය සමිති නියෝජිතය අමාත්‍යවරයාට පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඇමතිවරයා පෙර දැනුම්දීමකින් තොරව මුලුතැන්ගේ නිරීක්ෂණය කර ඇත්තේ ඒ අනුවය.

වරාය මුළුතැන්ගේ කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප් වල බැවින් ගෑස් විශාල වශයෙන් අපතේ යන බවත් සේවකයින් පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමුකළ බවත් වාර්තා වෙයි .

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් පී ඩී එස් රුවන්චන්ද්‍ර , වරාය අධිකාරි උප සභාපති ගයාන් අලගියවත්තගේ සහ වරාය මුළුතැන්ගේ කළමනාකරු ජේ.ඩී ඩයස් යන ඇතුළු පිරිසක්ද එක්ව ඇති බවත් වාර්තා වෙයි .