Language Switcher

V2025

විකල්ප ඉන්ධන සොයාගැනීම් ගොඩදාන්න : සාගල මැදිහත් වෙයි !

ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස තිළිණ නම් තරුණයකු යෝජනා කර ඇති විකල්පයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ මැදිහත්වීමෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ අවධානය යොමුව ඇත.

වාර්තා වන ආකාරයට තිළිණ නම් තරුණයා සිදුකර ඇති , ඉන්ධන අර්බුදයට පිළියමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් " හරි යන තැන්" නම් youtube සම්මුඛ සාකච්ඡාවක් ඉදිරිපත් කර ඇත .

bio diesel නිපදවූ තරුණයාගේ ඉල්ලීම !

එහිදී තරුණයා අනාවරණය කරන්නේ ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස භාවිතා කළ පිසිණ තෙල් ඇසුරෙන් තමයි bio diesel නිෂ්පාදනය කළ බවත් දැනට මාස 03 ක පමණ කාලයක් තිස්සේ තමන්ගේ නවීනතම සුඛෝපභෝගී රථය සඳහා භාවිතා කරන්නේ ද එම විකල්ප ඉන්ධනය බවයි .

මෙහිදී වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් තරුණයා සමග අදාළ ඉන්ධන යොදාගෙන ධාවන පරීක්ෂාවක්ද ඉදිරිපත් කරයි. එසේම එහිදී හරීන්ද්‍ර හරහා තරුණයා ඉල්ලීමක් කරන්නේ මෙම සොයාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ගේ හෝ අවධානය යොමුකර දෙන ලෙසයි .

අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැදිහත් වෙයි !

අනතුරුව මේ ඉල්ලීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී , හිටපු අමාත්‍ය සාගල රත්නායක ගේ අවධානය යොමුව ඇත.

එහිදී අදාළ තරුණයාව සම්බන්ධ කරගෙන ඇති හිටපු අමාත්‍ය සාගල රත්නායක ඔහුට පොරොන්දු වී ඇත්තේ අනිවාර්යයෙන් අදාළ කරුණ අග්‍රාමාත්‍යවරයා ගේ අවධානයට යොමුකරන බවය.

අගමැති රනිල්ගෙන් තිළිණට ඇමතුමක් !

ඒ අනුව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දුරකථනය හරහා ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස භාවිතා කළ පිසිණ තෙල් හරහා bio diesel නිපදවූ තිළිණ නම් තරුණයාව අමතා තිබේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අදාළ සොයා ගැනීම , පොදු භාවිතය සඳහා යොදාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කිරීමට යොමුකරන ලෙසයි.

එසේම මේ සම්බන්ධයෙන් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ගේ අවධානයට යොමුකන බවත් , ඒ ඇතුළු පරීක්ෂණ කටයුතු මෙන්ම ඉදිරියට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ඇතුළු අනෙක් පහසුකම් හිටපු අමාත්‍ය සාගල රත්නායක විසින් සලසනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇති බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් මීට පෙරත් විවිධ විකල්ප ඉන්ධන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවත් ඔවුන් බොහෝ දෙනෙකු පරීක්ෂණ කටයුතු සඳහා හෝ ඉදිරිපත් නොවන තත්ත්වයක් පවතී. ඒ බව පසුගිය දිනක අමාත්‍ය කාංචන විජේසේකර ද හෙළිකර සිටියේය.

කෙසේ වුවත් යම් සොයාගැනීමක් සම්බන්ධයෙන් මෙසේ හෝ අවශ්‍ය මූලික මැදිහත්වීම සිදුකිරීම ගැන හිටපු අමාත්‍ය සාගල රත්නායක ට ස්තූති කළ යුතුව ඇත. ඒ ප්‍රතිඵලය කුමක් වුවත් අලුත්දේ සොයන ප්‍රජාවට මේ හරහා උද්ද්‍යෝගයක් ලැබෙන නිසයි.

ශශිකා සයුරංගි