Language Switcher

V2025

අරගලය සාමකාමී වෙන්න ඉල්ලන : එජාප නිවේදනය මෙන්න !

සාමකාමී විරෝධතා අරගලයට දිගින් දිගටම සහය දැක්වූ එක්සත් ජාතික පක්ෂය , හෙට (09) පැවැත්වීමට නියමිත අරගල පියවර සාමකාමී ලෙස පවත්වන ලෙසත් ඉල්ලා සිටියි.

එසේම සාමකාමී විරෝධතාවයන්ට කිසිදු බාධාවක්, අවහිරයක් නොමැතිව නිදහසේ කරගෙන යාමට අවස්ථාව ද තිබිය යුතු බවද අවධාරණය කරමින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

අරගලය සාමකාමී වෙන්න ඉල්ලන : එජාප නිවේදනය මෙන්න !

අරගලකරුවන් විසින් හෙට (09) දිනයේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් අඛණ්ඩ අරගලයක නිරතවීමට තීරණය කර ඇත.

සාමකාමී අරගලයන්ට එක්සත් ජාතික පක්ෂයේ සහාය නිරතුරුවම හිමිවන බව සිහිපත් කළ යුතු ය.

ගාලුමුවදොර අරගලකරුවන්ට මැයි 09 දින එල්ල වූ ප්‍රහාරයේදී ද අප පෙනී සිටියේ අරගලකරුවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙනි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්වූ පසු අරගලකරුවන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් පත් කරනු ලැබූවේ මා ය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩනයකින් සිටින බව අප පිළිගන්නා පරම සත්‍යය වේ.

රාජපක්ෂ පාලනය හමුවේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසාවෙනි.

එම වැරදි මූල්‍ය පාලනයේ ප්‍රතිඵල අද භුක්ති විඳීමට සිදුව ඇත්තේ සමස්ත රට වැසියාටම ය.

රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්වීමෙන් අනතුරුව පවතින ආර්ථික අර්බුදයේ සැබෑ තත්ත්වය රටට හෙළි කළ අතර, අමාරු කාලයක් පසු කිරීමට සිදුව ඇති බව ද ප්‍රකාශ කළේ ය. එම අමාරු කාලය දැන් අප පසුකරමින් සිටින්නෙමු.

අරගලය වෙනුවෙන් කොළඹට පැමිණෙන ජනතාව ගෙන් අපි ඉල්ලා සිටින්නේ එක දෙයක් පමණකි. ඒ සාමකාමීව විරෝධතාවයේ නිරතවන ලෙසට ය. විරෝධය පළ කිරීමට ජනතාවට ඇති මූලික අයිතිවාසිකම් අපි පිළිගන්නෙමු. සාමකාමී විරෝධතාවයන්ට කිසිදු බාධාවක්, අවහිරයක් නොමැතිව නිදහසේ කරගෙන යාමට අවස්ථාව ද තිබිය යුතු ය. විරෝධතාවයට පැමිණෙන ජනතාව ද සිය විරෝධය සාමය කඩනොවන අයුරින් පවත්වාගෙන යා යුතු බව අප ගේ විශ්වාසය යි.

ආරක්ෂක අංශ ද නීතිය හා සාමය රැකිය යුත්තේ අරගලකරුවන්ට බාධාවක් නොවන ලෙසට ය. රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම ආරක්ෂක අංශ සතු වගකීමක් සේ ම අරගලකරුවන් සතු වගකීමක් බව ද සිහිපත් කරන්නෙමු. සාමකාමී රටක් පැවැතීම අප සැමගේම අපේක්ෂාව වන බැවින් එය සැමදා පවතීවා යන්න අප ගේ ඒකායන ප්‍රාර්ථනය යි.