Language Switcher

V2025

සංගීතාගෙන් ජීවන්ගෙන් පැය 05 බැගින් CID ප්‍රශ්න කරලා !

තිළිණි ප්‍රියමාලි කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයන්ට අදාළව ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) පැය 05ක පමණ කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

තිළිණි ප්‍රියමාලි සමඟ ඇයට තිබුණු හිතවත්කම් ගැන මෙන්ම ඇය සමඟ කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් තිළිණි සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලින් මතු කර ගත් වීඩියෝ දර්ශනයක් සංගීතා වීරරත්න මහත්මියට ඉදිරිපත් කරමින් ඒ ගැන විමසීමේදී ඇය කිසිවක් පැවසීමට නොහැකිව මඳ වේලාවක් නිරුත්තර වී සිටි බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

සංගීතා වීරරත්න මහත්මිය විසින් ප්‍රශ්න කිරීමේදී ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පැවැත්වෙන බවත් එහිදී ඇගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව හැඟී ගියහොත් ඇයව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් පසුගිය සතියේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගණ ශිල්පිනියක් වූ සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක් ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන්කර ගත්තේය. තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙ‍ෙරන විමර්ශනයට අදාළව තවත් නවක නිළියක්ව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති අතර, ඇය මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව හමුවේ පෙනී සිට නැත. ඇයත් ඉදිරියේදී මේ ආකාරයටම පැමිණ ප්‍රකාශයක් දෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

තිළිණි ප්‍රියමාලි ජනප්‍රිය නිවේදක යුවළකට නිවසක් මිලදී ගැනීමට දී ඇතැයි කියන කෝටි එකහමාරක මුදලක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමු වී තිබේ. එම නිවේදක යුවළක් ද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව එහි අභ්‍යන්තර තොරතුරු සඳහන් කළේය.

මේ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතාගෙන් සහ එම මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සෙනසුරදා පැය 5 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත්තේ තිලිණි ප්‍රියමාලී සමඟ ඔහුටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් පැවැති සම්බන්ධතාවය සහ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ඉදිරියේදී ඒ මහතාගේ පවුලේ කිහිපදෙනකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරයි.

ගයාන් කුමාර වීරසිංහ