Language Switcher

V2025

ටයිගැට මහත්වරුන්ට : ඇමති ප්‍රසන්නගෙන් තගක් !

චක්‍රලේඛන සකස් කර ඇත්තේ වැඩ කිරීම පහසු කිරීමට මිස වැඩ නොකර කකුලෙන් ඇදීමට නොවන බැවින් චක්‍රලේඛනවලට මුවා වී තමන් ඇන්දීමට කටයුතු නොකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග නිළධාරීන්ගෙන් ඉල්ලයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් රාජ්‍ය නිළධාරීන් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම ප්‍රමාද කිරීමට චක්‍රලේඛන හේතුවක් කරගන්නා බවයි.

“මිනිහෙකුගේ සාධාරණ ඉල්ලීමක් ආපුවාහම නෑ, බෑ කියාගෙන එන්න එපා. ඒක නීත්‍යානුකූල විදිහට ඉටු කරන්න පුළුවන් විදිහ කියන්න. ඔය නෑ, බෑ කියන එක මට දිරවන්නෙම නෑ.” යැයි ද ඇමතිවරයා කීවේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අයවැය හා ඉදිරි කටයුතු පිළිබද අමාත්‍යාංශ නිළධාරින් සමඟ පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේ කීවේය.

“අපිට හැමදාම ඉතිහාසයට බැණ බැණ ඉන්න බෑ. වර්තමානයට මුහුණ දෙමින් අනාගතය සැලසුම් කළ යුතුයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියන්නේ රටේ සංවර්ධනයට අදාළ ප්‍රධාන අමාත්‍යාංශයක්. විශේෂයෙන්ම රටේ ජනතාවගේ නිවාස ගැටළුවට සෘජුවම විසඳුම් ලබාදීමට බැඳී සිටින අමාත්‍යාංශයක්. පසුගිය සමයේ පැවති කොවිඩ් වසංගත තත්ත්වයත් මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයත් නිසා මේ අමාත්‍යංශය යටතේ සිදු කෙරෙන නිවාස ණය හා ආධාර වැඩසටහන් ඒ වගේම නිවාස ව්‍යාපෘතිවල තාවකාලික පසුබෑමක් සිදුව තිබෙනවා.

ජනාධිපතිවරයා මෙවර ඉදිරිපත් කළේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වන අයවැයක්. එමගින් මුලික අවධානය යොමුව තිබෙන්නේ මේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක. අපි බලන්න ඕනේ ඒ වැඩපිළිවෙල ඇතුළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට ගත හැකි පියවර පිළිබඳවයි. පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීම ඉලක්ක කරගෙන තමයි අපි ඩොලර් වලට නිවාස විකිණීමේ වැඩසටහන, One Stop Unit සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සිදු කළේ. තව තවත් අලුත් ව්‍යාපෘති හඳුනාගෙන ඉදිරි කාලය තූළ කඩිනමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි.

පසුගිය කාලයේ නිවාස ණය, ආධාර වැඩසටහන් වගේම ඇතැම් නිවාස ව්‍යාපෘති හා ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන්නේ නිසි සැලසුමකින් තොරවයි. ඇතැම් ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන්නේ නිළධාරීන්ට ඕන විදිහට. තිබෙන ව්‍යාපෘති අවසන් කිරීම වෙනුවට තවත් අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීම සිදුවෙලා තියෙනවා. මෙතෙක් ක්‍රියාත්මක ණය, ආධාර, වැඩසටහන් හා ව්‍යාපෘති අවසන් කරනතුරු නව ව්‍යාපෘති හා ණය හා ආධාර වැඩසටහන් ආරම්භ නොකළ යුතුයි.

ඇතැම් නිළධාරින්ගේ වැරදි නිසා දේශපාලනඥයින් වන අපියි බැණුම් අහන්නේ. “ටයි ගැට” ප්‍රශ්න නිසා නිළධාරීන් අතර විවිධ ගැටළු තියෙනවා. ඒකත් මේ රාජ්‍ය ආයතනවල වැඩ නොවීමට හේතුවක්. තනතුරු ප්‍රශ්න, සීනියෝරිටි ප්‍රශ්න එහෙම නැත්නම් වෙන පුද්ගලික ප්‍රශ්න නිසා නිළධාරීන් අතර විවිධ ප්‍රශ්න තියෙනවා. ඒකට තමයි කියන්නේ “ටයි ගැට” ප්‍රශ්න කියලා. මේ ප්‍රශ්න නිසා ආයතනවල වැඩ නොවුණාම බනින්නේ බලය තියන ආණ්ඩුවට. නැත්නම් ඇමතිට ඒ නිසා “ටයි ගැට” ප්‍රශ්න නිසා ජනතා සේවය බාල්දු කරන්න එපා. අමාත්‍යාංශයේ වැඩ ප්‍රමාද කරන්න එපා. ”